තම රාජකාරිය ඉටු කිරීමේදී හෝ රාජකාරී සදහා යාම් ඊම්වලදී සෘජූව හෝ වක‍්‍රව කොවිඩ්- 19 රෝගීන්ට අනාවරණය වීම හේතුවෙන් වෛරසය ශරීර ගතවූ බවට හදුනාගත් වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් අපහසුතාවට පත් වන අයුරින් කටයුතු කෙරෙන බව සමස්ථ ලංකා හෙද සංගමයේ සභාපති එස්. මැදිවත්ත පවසයි.
මේ සම්බන්ධයෙන් තව දුරටත් අදහස් දක්වමින් මැදිවත්ත මහතා කියා සිටියේ PCR Negative ලෙස තහවුරු කරන ලද සහ අදාළ ක‍්‍රමවේදයට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිගේ අධික්ෂණයෙන් නිවෙස් නිරෝධායනයට යොමු කර සිටි මෙම පිරිස් PCR පරීක්ෂණ සිදු නොකල සැක කටයුතු පිරිස් හා එකට කලවමේ නිරෝධායන මධ්‍යස්ථානවල ලැගුම් ගැනීමට සැලැස්වීමෙන් ඔවුන් අනතුරට හෙලා ඇති බවයි.
මොවුන් රෝගයට ගොදුරු වූ බව දැනගත් වහාම ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සහ ළගම ආශ‍්‍රිතයින් PCR පරීක්ෂණ සදහා යොමු කර කඩිනමින් පරීක්ෂණ ප‍්‍රතිඵල ලබාදී තිබීම පැසසුමට ලක් කරන බවද ඔහු පැවසුවේය.
PCR පරීක්ෂණ වාර්තාව අනුව රෝග කාරකය නොමැති බව තහවුරු කරන අය දින 14 ක් තම නිවාසවලම නිරෝධායනයට ලක් කිරීම සාමාන්‍ය ක‍්‍රමවේදය වූවත් උක්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ පවුලේ සාමාජිකයන් බලහත්කාරී ලෙස නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගෙන ගොස් ඇති බවටත් හෙද සංගමය චෝදනා කරයි.
තව දුරටත් අදහස් දැක්වූ මැදිවත්ත මහතාට අනුව ප‍්‍රතිකාර මධ්‍යස්ථානවල දැඩි මානසික ආතතියෙන් කල්ගෙවන කාර්ය මණ්ඩල සාමාජිකයන් තම පවුලේ අය එලෙස විතැන් කිරීම නිසා තවදුරටත් ආතතියට හා කම්පනයට ලක්ව සිටිති. එසේම තොරතුරු ආවේක්ෂණයේදී විවිධ ආයතන හා නිලධාරීන් විසින් අවස්ථා ගනනාවකදී දුරකථන ඇමතුම් ලබාදෙමින් තොරතුරු ඉල්ලා සිටීමද අතිශය කරදරකාරී බව බොහෝ දෙනෙකුගේ මතයයි.
මේ අනුව කොවිඩ් – 19 මර්දන ක‍්‍රියාවලියේදී යුධ හමුදාව, පොළිසිය හා ප‍්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන් අතර මනා සබදතාවක් ගොඩනැගී නොමැති බව සංගමයට නිරීක්ෂනය වන අතර සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ නිර්දේෂ අභිබවා ආරක්ෂක අංශ ක‍්‍රියාත්මක වන බවටද තොරතුරු ඇති බව මැදිවත්ත මහතා පවසයි.
ආසනන් ම සිදුවීම ලෙස හොරණ මූලික රෝහලේ කොවිඩ්- 19 ආසාධනයට ලක්වූ හෙද නිලධාරීනී ඩී. ඩී. වජිරා විජේරත්න මහත්මියගේ සැමියා හා දූවරුන් දෙදෙනාගේ PCR Negative වන අතර ඔවුන් මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ අධීක්ෂණය යටතේ නිවෙස් නිරෝධායනයට යොමුකර ඉතා ආරක්ෂිතව සිටි නමුත් පෙර දැනුම් දීමකින් තොරව යුධ හමුදාව මැදිහත්වී මේ වන විට ඔවුන් මාතර නිල්වලා විද්‍යා පීඨයේ නිරෝධායන මධ්‍යස්ථානයේ PCR නොකළ සැක සහති ප‍්‍රජාවක් හා සමග ඉතා අනතුරුදායක ලෙස රදවා තබා ඇති අතර මෙලෙස මධ්‍යම රාත‍්‍රියේ පවා නිවෙස්වලට පැමිණ පවුලේ අය රැගෙන යෑම් සම්බන්ධව කළුතර, පානදුර හා කෑගල්ල ප‍්‍රදේශවලින්ද වාර්තා වී ඇති බවත් ඔහු කියා සිටියේය.
එම නිසා සෞඛ්‍ය සේවකයින් මෙන්ම ඔවුන්ගේ පවුල්වල අයද මෙම රෝග තත්වය පිළිබද හොඳින් දැනුවත් අතර ඔවුන් සමාජ වගකීම මැනවින් ඉටුකරන බව අප විශ්වාස කරන අතර ඔවුන් ඉතා ආරක්ෂිතව නිවෙස් තුළ නිරෝධායනය කිරීමට හැකියාව ඇති බව පෙන්වා දෙන බවත් තම රාජකාරී ඉටු කිරීමට යෑම මෙලෙස තමාගේම පවුලේ අයද අසීරුතාවයට පත්කිරීමක් ලෙස සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට හැගී යාම ඉදිරියේදී ඔවුන් සේවා වලින් ඈත්වීමටත්, නිවැරදි තොරතුරු ලබාදීමෙන් වැළකීමටත් හේතු වනු ඇත.
එබැවින් උක්ත පැහැදිලි කළ ආකාරයට අනාරක්ෂිතව රැදවුම් මධ්‍යස්ථානවල රදවා සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩල පවුල්වල සාමජිකයින් නැවත ආරක්ෂිත ලෙස නිවෙස් වෙත ගෙන්වා නිරෝධායනයට යොමු කිරීමට කඩිනමින් මැදිහත් වන ලෙස එම සංගමය රජයෙන් ඉල්ලා සිටී.
