දිවයින වටා පිහිටි මුහුදු ප්‍රදේශවල කාලගුණය ඉතාම අයහපත් තත්ත්වයට පත්ව ඇති බැවින් යළි දැනුම් දෙන තුරු ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශයේ නාවික සහ ධීවර කටයුතුවලින් වළකින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇති පරිදි ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වායුගෝලයේ පැවති අඩුපීඩන තත්ත්වය හේතුවෙන් ඉදිරි පැය 24 තුළදී දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් මෙම කලාපයේ සුළගේ වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 60-70 ක් පමණ ඉහළ යා හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ජානක හදුන්පතිරාජ පැවසුවේය.
මේ හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව නිවේදනය කර ඇතිි බවත් දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධිවර කටයුතුවල යෙදී සිටින පිරිස් වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථාන කරා පැමිණෙන ලෙසත් මෙම නිවේදනයේ තවදුරටත් සදහන් කර ඇත.
එසේම මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මිටර් 2.0-2.5 ක් පමණ ඉහළ යා හෙයින් මුහුදු රළ ගොඩබිමට පැමිණිය හැකි බවත් කාලගුණ නිවේදනයේ සදහන් වේ.
පවතින කාලගුණ තත්වය පිළිදව නිසි අවධානයක් යොමු කරන ලෙසත් ඇතිවිය හැකි ආපදා අවම කර ගැනීම සදහා විටින් විට ලබා දෙනු ලබන උපදෙස් අනුව කටයුතු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවට දැනුම් දෙනු ලැබේ.
එසේම පවතින කාලගුණ තත්වය හේතුවෙන් ඇතිවිය හැකි ආපදා පිළිබදව දැනගැනීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 දුරකථන අංකයෙන් විමසන ලෙස තවදුරටත් ජනතාවට දැනුම් දේ.
