රාජ්‍ය සේවක වැටුප් කොල්ල කන්න එපා – ජවිපෙ

by admindasun
0 comment 120 views

කොවිඩ් – 19 වසංගත තත්ත්වය නිසා විවිධාකරයේ ගැටළුවලට මුහුණ දී සිටින රජයේ සේවකයන්ගේ වැටුප හෝ වැටුපෙන් කොටසක් රජයට ලබා දීමේ තීරණය වහා හකුලා ගන්නා ලෙස ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලා සිටියේය.

ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් සහ ජනතා විමුක්ති පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මහ මැතිවරණ අපේක්ෂක මහින්ද ජයසිංහ මහතා කියා සිටියේ රජයේ අනවශ්‍ය වියදම් වහා නතර කොට පවතින තත්ත්වය යටතේ ජනතාවට සහන ලබා දිය හැකි දේවලට පමණක් මෙම කාලය තුළ අවධානය යොමු කරන ලෙසයි.

තව දුරටත් අදහස් දැක්වූ ජයසිංහ මහතා කියා සිටියේ පසුගියදා පෞද්ගලික ඉල්ලීමක් ලෙස ජනාධිපති කාර්යාල ලිපි ශීර්ෂයේ මුද්‍රණය කර නිකුත් කරන ලද ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතාගේ ලිපියට අනුව සබරගමු පළාතේ අධ්‍යාපන ක්ෂ‍ේ්ත්‍රය තුළ මේ වන විටත් ඒ අනුව ක්‍රියා කිරීමට රාජ්‍ය සේවකයාට බල කරමින් සිටින බවයි.

මේ අතර හිටපු රාජ්‍ය ඇමැතිවරුන්ට නිළ නිවාස සහ නිළ වාහන භාවිත කිරීම සදහා අවසර ලබා දෙමින් කැබිනට් පත්‍රිකාවක් සම්මත කර ඇති අතර එහිදී එම වාහන සදහා මසකට අය කරනු ලබන කුලිය රුපියල් ලක්ෂය කිසි සේත්ම ප්‍රමාණවත් නොවන බවත් ඔහු කියා සිටියේය. මෙවැන වාහනයක සාමාන්‍යයෙන් මාසික කුලිය රුපියල් ලක්ෂ 03ක් පමණ වන අතර එමගින්ද මහජන මුදල් නාස්ති වීමකට ආණ්ඩුව මුල පුරා ඇති බවත් ජයසිංහ මහතා පැවසුවේය.

තවද රජය විසින් මාහා මාර්ග යෝජනා ක්‍රම වැනි විවිධ ව්‍යාපෘති මේ අවස්ථාවේදී ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතීන් ලබා ගන්නා අතර එවැනි ව්‍යාපෘති තාවකාලිකව නවතා ජනතාවට සහන ලබා දීමට කටයුතු කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

එසේම රාජ්‍ය සේවකයාගේ වැටුපෙන් රජය සදහන් කළ පරිදි මාර්තු මාසයේ බැංකු ණය අය කර ගැනීම නැවැත්වීමක්ද සිදු නොවුණු අතර අතිකාල දීමනා, බටා වැනි දීමනා නොමැති වීමෙන් ඔවුන් මහත් අසීරුතාවට පත් වී ඇති බවත් ජයසිිංහ මහතා කියා සිටියේය.

මේ වන විට ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ වැටුපෙන්ද 30%ක මුදලක් අඩු කර ගැනීමට රජය සැළසුම් කරන බවට තමන් වෙත තොරතුරු ලැබී ඇති බවත් තම පක්ෂය ඒ සදහා තරයේ විරෝධතාව ප්‍රකාශ කර සිටින බවත් ගුරු සේවා සංගමයේ ලේකම්වරයා පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment