කොවිඩ් – 19 වසංගත තත්ත්වය තුළ මෙරට ආර්ථිකයට සිදු වී ඇති බලපෑම අවම කර ගැනීම සදහා අලුතින් මුදල් මුද්‍රණය කිරීමෙන් මෙරට ආර්ථිකයට හෝ මූල්‍ය කටයුතුවලට වර්තමානයේ හෝ ඉදිරියේදී කිසිදු හානියක් නොමැති බව මහා භාණ්ඩාරයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා පවසයි.
විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරු ඇතුළු ආර්ථික විශ්ලේෂකයින් මෙසේ අලුතින් මුදල් මුද්‍රණය කිරීම පිළිබදව රජයට දැඩි විවේචනයක් එල්ල කළ අතර එය නොකළ යුතු දෙයක් බවට ප්‍රකාශ කළේය.
වසංගත තත්ත්වය නිසාවෙන් රට වසා දැමුණු කාලය ආරම්භ වූ මාර්තු මස සිට මේ වන විට රුපියල් බිලියන 213ක් මහ බැංකුව විසින් අලුතින් මුද්‍රණය කර ඇති අතර මහ බැංකු දත්තවලට අනුව රුපියල් බිලියන 217. 1ක මුදලක් මේ වසර මුල සිට මෙරට වෙළෙද පොළට නිකුත් කර ඇත.
ආටිගල මහතා පවසන පරිදි මෙම කාලය තුළ අලුතින් මුද්‍රණය කරන ලද මුදල් ප්‍රමාණය මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.2%ක් වන අතර එමගින් කිසිදු අහිතකර බලපෑමක් සිදු නොවන බවයි.
මෙවැනි තත්ත්වයක් හමුවේ ශ්‍රී ලංකාව පමණක් නොව ඇමෙරිකා එක්සත් ජනපදය වැනි රටවල්ද මුදල් මුද්‍රණය කිරීම සිදු කරන බවත් ඔහු කියා සිටියේය.
තව දුරටත් අදහස් දැක්වූ භාණ්ඩාගාර ලේකම්වරයා පැවසුවේ මෙම මුදල් රජය විසින් අභ්‍යන්තර වෙළෙද පොළට පමණක් නිකුත් කර ඇති නිසා උද්දමනය පහළ මට්ටමක තබා ගැනීමට හැකි වී ඇති බවයි. මේ වන විට පවතින තත්ත්වය හේතුවෙන් ආනයන සිදු නොකෙරෙන බැවින් එම මුදල් අභ්‍යන්තර වශයෙන් පමණක් සංසරණය වන බවද ඔහු කියා සිටියේය.
මෙවැනි තත්ත්වයක් තුළ රට තුළ ආර්ථිකය යහපත් අතින් පවත්වා ගෙන යාම සදහා ශ්‍රී ලංකාව පමණක් නොව ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු සියලු රටවල් මෙවැනි උපක්‍රම අනුගමනය කරන බවත් ඔහු කියා සිටියේය.
වසංගත තත්ත්වය නිසා මෙරට ආර්ථිකයට සිදු වී ඇති බලපෑම මත අප්‍රේල් 30 වන දින වන විට ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 5.8%කින් අව ප්‍රමාණය වී ඇති අතර ස්ටර්ලින් පවුමට සාපේක්ෂව 0.7%කින්ද, යුරෝවට සාපේක්ෂව 2.8%කින්ද, ජපන් යෙන්වලට සාපේක්ෂව 7.5%කින්ද, ඉන්දියන් රුපියලට සාපේක්ෂව 0.4%කින්ද රුපියල අවප්‍රමාණය වී ඇත.
