ජනපති ඡන්දය: ඩලස් – සජිත් හවුල පැරදුණේ ඇයි?

by admindasun
0 comment 339 views
විපක්ෂයේ දේශපාලන පක්ෂ දෙකක් ගත් අමනෝඥම තීරණය සජබ හා ‘කහ පක්ෂය’ ජනපති තරඟයට එක්ව තරඟ කිරීම ලෙස ඉතිහාසගත වනු ඇත. ප්‍රතිපත්ති – වැඩපිළිවෙලක් – අරමුණක් – සැලසුමක් නැති බෝඩ් ලෑල්ලට සජබ මන්ත්‍රී රැසක් ඡන්දය දී නැත.
සජිත් ඉවත් වූ පමණින් ඩලස් දිනන්නේ නැති බව සරළවම විග්‍රහ කළෙමි.  අවසනාවකට පුද්ගලික න්‍යාය පත්‍රයකත්, අවස්ථාවාදී බල දේශපාලනයකත් සිටි සජබ – කහ පක්ෂයටත් එය තේරුණේ නැත.
ඩලස් ට දැවැන්ත පරාජයක් ලැබුණේ ඇයි? උත්තරය සරළය.
ජනපති තරඟය ඇරඹෙන විට විපක්ෂයට 62 ක්, රනිල්ට 90 ක්, ඩලස් ට 69 ක් තිබූණි.  අවසන් ප්‍රතිඑලය ඡන්ද 82 කි. රෝහිණී කවිරත්න ගත් ඡන්ද 78 ට වඩා වැඩි වූවේ 4 කි. ඩලස්ගේ පක්ෂය අලුනේ ගෙනාවේ ඡන්ද 4 ද? නැත.
විපක්ෂයේ පාර්ලිමේන්තු සංයුතියෙන් 1/3 ක් මුස්ලිම්, මලය තමිල් හා උතුරු නැගෙනහිර ද්‍රවිඩ නියෝජිතයින්ය.
 විමල්-ගම්මන්පිල-රතන-චන්න ජයසුමන ප්‍රමුඛ ඩලස් කණ්ඩායම මේ කණ්ඩායමට බිය ඇති කළේය. පැලෝපීය නාල මිරිකීම, රිෂාඩ් – අසාත් සාලි හිරේ දැමීම, මුස්ලිම් ඇමතිවරු සියල්ලට තනතුරු අහිමි කිරීම, බලය බෙදීමට එරෙහිවීම එයට හේතුවයි.
පූර්වකථනය කළ පරිදිම ඩලස්ට මේ ඡන්ද 19 න්, ලැබුණේ ඡන්ද 4 කි. අනෙක් අතට, පොහොර-කෘෂිරසායන තහනමේ නිර්මාතෘවරුන් ගෝඨාභය රජයේ ආරම්භයයි. පාර්ලිමේන්තුවම එයට බියවීම පුදුමයක් නොවේ.
තරඟය චීන පිළ හා ඉන්දීය පිළ අතර විය. ඉන්දියන් බලපෑම සහිත ඡන්ද ඩලස්ට ලැබුණේම නැත. එය කළමනාකරණයට සජිත්ට හැකියාවක් තිබුණේම නැත. සජබ නියෝජිතයා සිදුවන්නේ කුමක්දැයි දැන සිටියේ ද නැත!
සජිත්ට වඩා රනිල්ට සමීප 6 – 7 සජබ මන්ත්‍රී කණ්ඩායමේ වේ.  එය දෙගුණයකින් වැඩි වූවේ ජූලි 19 සජබ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී සජිත් විධායක බලැති අගමැති තනතුරට ආරූඩ වූ නිසාය. ‘පූර්ණ විධායක ජනපති රණසිංහ ප්‍රේමදාස දෝෂාභියෝගයට පෙර සිංහාසනයේ වාඩි වුණා වගේ’ සහභාගිවූවෝ කියති! ඇත්තක්දැයි නොදනිමි.
මොකද වුණේ?
‘කහ පක්ෂය’ නිත්‍ය සමාජිකයින් 44ක පක්ෂයකි. රාජපක්ෂවරුන්ගේ උදහසට ලක් වූ ඉන් 40 ක්ම ඩලස් සමඟ සිටියේය. පක්ෂ 7 නායකයින්ද, එලෙසමය. සාමාජිකයින් ගැන දන්නේ ඔවුන්ම පමණී. සජබ ඡන්ද ඩලස් ට නොලැබුණු බව නම් පැහැදිලිය.
ඡන්දයේ සැඟවුණු අමුත්තා
ඡන්දයට පෙර ඩලස් හා සජබ මන්ත්‍රීවරුන් මුහුණට මුහුණ හමුවූයේ නැත. ජනපති අපේක්ෂක සැඟවුණු අමුත්තෙක් විය. ඩලස් වෙනුවෙන් සියල්ල කළේ ඩිලාන් සහ නාලක ගොඩහේවාය. ඩිලාන්ගේ දේශපාලන වෘත්තීයභාවයට පළපුරුද්දට සමඟ හැරෙන්නටවත් ගොඩහේවාගේ 130 යේ දත්ත පූර්වකථනයට හැකි වූවේ නැත. සජබ මන්ත්‍රීවරු පක්ෂ නායකයින් හත් දෙනා සමඟ එකම අවස්ථාවක හෝ හමුවූයේ නැත. සජබ මැදිහත්කරු ලක්ෂමන් ෆොන්සේකා විය.
තරඟය ඇරඹෙන විට, සජබ මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයට ‘කහ කණ්ඩායම’ නයාට අඳුකොළ විය. රූපවාහිනී – පාර්ලිමේන්තු විවාදවල ඉදිරි පෙළ හැප්පුණේ මේ කණ්ඩායම් දෙකය. නායකයින් තබා දෙවියන් බුදුන් කිව්වත් නොමැකෙන විරසකයක් ක්‍රියාකාරීන් අතර විය. මුජිබර්, මරික්කාර්, හලීම්, කබීර්ට ‘ඩලස්-විමල්-උදය-රතන- ජයසුමන-ගොඩහේවා සමඟ එක කඳවුරක සිට පාක්ෂිකයාගේ මුහුණ බලන්නේ කෙසේ දැයි නොසිතුනා නම් පුදුමය.
රනිල් – බැසිල් මෙහෙයුම
වත්මන් පාර්ලිමේන්තුව පක්ෂ/කණ්ඩායම් 18ක සංකලනයකි. එයින් පක්ෂ 15ක ඡන්ද එක් කර ගැනීමට රනිල්/බැසිල්ට හැකි විය. දින 5ක තනි තනි මන්ත්‍රීවරයා ඉලක්ක කළ මෙහෙයුමක් එහි ක්‍රියාත්මක විය. බැසිල්, හරීන්, වජිර, අකිල, සාගල, මනූෂ එහි මෙහෙයුම්කරුවෝ වූහ.
විපක්ෂය කාටද?
ඩලස්ගේ ‘කහ පක්ෂය’ ජනාධිපති පුටුව හෝ ‘ප්‍රධාන විපක්ෂය’ වීම ඉලක්කය විය. දැන් සජබ 29ක් හෝ 30කි. ඩලස්ට 44 හෝ 40කි. කථිකයින් වැඩි, පක්ෂ නායකයින් වැඩි ‘කහ පක්ෂය’ වාසුදේව හරහා ඡන්දයදා සවසම පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක පුටුවට තම අයිතිය ඉල්ලා ඇත.
පාර්ලිමේන්තුවේ නිල විපක්ෂය කවුදැයි තීරණය කරනුයේ කථානායකවරයාය. අතීත භාවිතය අනුව නම් සජිත් ප්‍රේමදාස දිගටම තනතුර දරනු ඇත.
සජිත් – ඩලස්ට මේ තරඟයේ අතහැරුණු අවස්ථා හතරකි.
1. උතුරේ නැගෙනහිර මන්ත්‍රීවරයෙකු තනතුරු දෙකෙන් එකකට පත් කිරීම
2. බාහිර පුද්ගලයෙකු පත් කිරීම (සාලිය පීරිස් යෝජනාව වැනි)
3. කාන්තාවක් පත් කිරීම (නි.කතානායක ආදර්ශය)
4.මෛත්‍රීපාල සිරිසේන යෝජනාව. අනුර කුමාර සිය කතාවේ එය විශිෂ්ඨ ලෙස පැහැදිලි කළේය.
ශ්‍රී ලංකා ඉතිහාසයේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී යාන්ත්‍රණයෙන් ජනාධිපතිවරයෙකු පත් කර ගත් පළමු අවස්ථාව මෙයයි. මන්ත්‍රීවරුන් 225ක ඡන්දයක් දවස් තුනකින් කළමනාකරණය කළ හැකි බව මෛත්‍රීපාල සිරිසේන පක්ෂ රැස්වීමේදී කිවේය. ඒ ඔහුගේ අත්දැකීමයි. මෛත්‍රීගේ යෝජනාව ඉදිරියට ගෙනියන්නට සජබට අවශ්‍ය නොවීය. රනිල් ගේ පැත්තෙන්, හරීන්, බැසිල්, වජිර ක්‍රියාවට නැංවූවේ තනි තනි පුද්ගලයාය.
සජබ ප්‍රධාන සාකච්ඡාකරුවා වූයේ දේශපාලනඥයෙකු නොවන ව්‍යාපාරික ලක්ෂ්මන් ෆොන්සේකාය. අනෙක් පැත්තෙන් බහු පක්ෂ සමඟ ගැඹුරු සහෘද බැඳීම් නොමැති නාලක ගොඩහේවාය. ඡන්ද 225ක මැතිවරණ ව්‍යාපාරයක් මෙහෙයවිය නොහැකි නම්, රටක ඡන්ද ව්‍යාපාරයක් මෙහෙයවන්නේ කෙසේදැයි සජබ ප්‍රමුඛ පක්ෂ දැන්වත් සිතා බැලිය යුතුය. 2024  පරිනත දේශපාලන දෘෂ්ඨියක් හා කළමනාකරණ ශක්තියක් අවශ්‍යමය.
ඊළඟට?
රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා විපක්ෂයට තිබූ සුවිශේෂතම අවස්ථා හතරක් පසුගිය දින 100 තුළ අහිමි කර ගෙන ඇත. අභියෝග බාර ගැනීමට ඇති කුසීත බව, වැරදි උපක්‍රම, දේශපාලන අවස්ථාවන් ග්‍රහණය නොකිරීම එයට හේතු වී ඇත. ජාතික ආණ්ඩුවක් හදන්නට පස්වන අවස්ථාව සජිත්ට අද දිනය තුළ ලැබෙනු ඇත. සජබයෙන් අගමැති පත් කර ගැනීම රනිල්ගේ අරමුණ වනු ඇත.
රනිල්ට ඡන්දය දුන්නත් නැතත් සජබ මුල් පෙළ 10කටවත් රනිල්ගේ ඇරයුම් ලැබෙනු ඇත. ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානයේ මහාචාර්ය සිල්වා 1977 ජූලි 21 දින ගැන කදිම සටහනක් තබයි. 1952 සභානායක පුටුවේ සිට අගමැති පුටුවට යන්නට ජේ.ආර්. ට වසර 25 ගත වී ඇත. හරියටම වසර 45කට පසුව, අද ඒ දිනය නැවත එලෙසම උදා වී ඇත. මගහැරුණු අවස්ථා ඉතිහාසයේ පිරී ඇත. අල්ලා ගත් අවස්ථා ලෝකය වෙනස් කරනු ඇත්තේය.
නායකයින් කියන පළියට ජනතාව තබා මන්ත්‍රීවරුන්වත් ඡන්දය දෙන්නේ නැත.
දේශපාලන සන්නිවේදන — රජුන් තැනීම විද්‍යාවකි. කලාවකි. පරාජය 2024 ට හොඳ පාඩමකි.

රජිත් කීර්ති තෙන්නකෝන්

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment