කොළඹ ගෝල්ෆේස් උද්ඝෝෂණය සැලසුම් කළ පරිදි පැවැත්වීමට කිසිදු බාධාවක් නැත. පෙරේදා (23) අලුත්කඩේ අංක 7 උසාවියේ ප්රභාකරන් මහෙස්ත්‍රාත් තුමා වෙත යොමු කළ පළමු ‘බී‘ වාර්තාව (පළමු කමෙන්ට් එක බලන්න) මගින් පොලීසිය විසින් ඉල්ලූ නියෝග ගරු අධිකරණය ලබා දුන්නේ නැත.
පසුව, දෙවන ‘බී‘ වාර්තාවට අනුව කොළඹ මාර්ග කිහිපයක උද්ඝෝෂණ සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් ලබා දී ඇත. මේ වන විට කොළඹ කොටුව ප්‍රදේශයේ මාර්ග රැසක ජී.අයි.පයිප්ප බට යොදා මාර්ග වසා දමා ඇත්තේ ඒ අනුවය.
අන්තර් විශ්වවිද්‍යා ශිෂ්‍ය බලමණ්ඩලය, ලේඛක හා පොත් ප්රකාශකයින්ගේ එකමුතුව, රඹුක්ක ප්‍රහාරයට ලක් වූ ජනතාව, ගොවි සංවිධාන එකමුතුව, සහ තවත් සංවිධාන දවස පුරා උද්ඝෝෂණ කළෝය.
ඊයේ උද්ඝෝෂණයට ලක්ෂයකට වැඩි පිරිසක් එක් වෙතැයි අපේක්ෂා කළේය. නමුත්, වැදගත්ම කරුණ වන්නේ පසුගිය මාසය පුරාම අනපේක්ෂිත සිදුවීම්වලින් රට පුරා උද්ඝෝෂණ පිරීයාම ය.
• හිරුණිකා ගේ මිරිහානේ ගමන ජනාධිපතිවරයාගේ ගේට්ටුව අසලට යන තෙක් කිසිවෙකුත් දැන සිටියේ නැත.
• හිරුණිකා ගේ යාපනය උද්ඝෝෂණයට පැන්න ආවා කල්ලි නායකයා කාන්තාවන්ගෙන් කුටි කෑවේය.
• අනුරාධපුර ඥානාක්කාගේ නිවස හිරුණිකා ප්රමුඛ කාන්තාවන් වටලනවා කිසිවෙකු දැන සිටියේ ද නැත.
• මිරිහානේ උද්ඝෝෂණයට පහරදීම මහා විනාශයකින් කෙළවරවන බවත්, එය නීතිඥවරුන් ඇතුළු සමාජ ක්‍රියාකාරීන්ගේ සමාජ මැදිහත්වීමකට හේතු විය හැකි බවත් කිසිවෙකුත් පූර්ව කථනය කළේ ද නැත.
• අප්‍රේල් 9 උද්ඝෝෂණය හෙවත් ගොල් ෆෙස් වාඩිලෑම පොඩි එවුන්ගේ සිල්ලර වැඩක් ලෙස විපක්ෂය, ජවිපෙ, පමණක් නොව ආණ්ඩුව ඇතුළු බොහෝ දෙනා ද සැලකුවේය.
• ඉතිහාසය පුරා වෙඩි තබා, ගිණි තබා ජාම බේරාගත් ආණ්ඩුවේ මැරයින් හා රඹුක්කන මැරයින් ලේ මතින් අරගල මර්ධනයට දැරූ උත්සාහය සාර්ථක වූවේ ද නැත.
• ලංකාවේ ලොකුම පාතාල කණ්ඩායම, 2019 කිරිබත් බලකාය, මාර්ග වසමින් කළ විරෝධය පසුවදා අකුලා ගැනීමට සිදු විය.
• ජනාධිපති කාර්යාලයට ප්‍රොජෙක්ටර් ගසන බව වත්, එයින් මිදීමේ සරළ මාර්ගයවත් කිසිවෙකුට අවබෝධ වූවේ නැත.
• පසුගිය අගහරුවාදා පාර්ලිමේන්තුව වටේ පොලිස් බැරියර් දමා මාර්ග වැසුවාට උද්ඝෝෂකයින් එහි ගියේ ද නැත.
• පසුව ද, සමාජ මාධ්‍ය කැළඹු ග්‍රැෆික් චිත්‍රය (ගෝඨා ගෝ හෝම් ප්රක්ෂේපනයක් ලෙස සිදු කළ පෝස්ටරය) මිලියන 14 ක් ප්‍රචාරය වන තෙක් එහි ප්රකාශිතය ගැන අවබෝධයක් ලැබුණේ නැත.
• අවසානයේ, පෙරේදා සවස අරලියගහ මන්දිරයට අවමගුල් පෙරහැරක් ගොස් සුදු කොඩි වතාවත් ඉටු කරන තෙක්ම එය වැලැක්වීමට ද කිසිවෙකුට හැකිවූවේ නැත.
සාගතයෙන් සිටින නැතිවන්නට දෙයක් නැති මිනිසුන් දිනපතා රට පුරාම උද්ඝෝෂණයට එක් වනු ඇත. ඔවුන් පාරට බැස ඇත්තේ සාත්තරකාරයින්ගේ නැකත්වලට නොවේ. සෙනසුරු මාරු නැකතට ද නොවේ. අගමැති – ජනපති පත් කිරීමේ දේශපාලන ගේමට ද නොවේ.
අදට වඩා යහපත් හෙටක් දිනාගැනීම සඳහාය!
කොටුවේ ජනාධිපති නිල නිවස අසල සියළුම බැරියර්වලට යකඩ උල් හයිකර ඇත.
අවුරුදු 20 ක් විශ්වවිද්‍යාලයේ සිටි මම දන්නා අන්දමට නම් අන්තරයට පොලීසිය කවදාවත් බය නැත. හැමදාම කළේ පහරදීම පමණ ය. අද තත්වය වෙනස්ය.
මේ උද්ඝෝෂණය යුක්රේන යුද්ධයෙන් පසුව අද ලෝකයේ වැඩි දෙනො ගේ අවධානය යොමු වූ විරෝධතා ව්‍යාපාරයයි. දැනටමත් විදේශ ජනමාධ්‍ය කොළඹ සිට ‘ලයිව් ටු එයාර්‘ විකාශන ආරම්භ කර ඇත.
මල මෙතනය! දැන් ඇවිත් නටන්න!!
රජිත් කීර්ති තෙන්නකෝන්
හිටපු ආණ්ඩුකාර
විධායක අධ්යක්ෂ – ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය