මහ පොළොව මත ගැටලු විසඳීමට පුළුල් ප්‍රතිපත්ති

by admindasun
0 comment 12 views

මෙවර අලුත් අවුරුදු උත්සවවලට ලැබී තිබුණේ පසුගිය කාලයට සාපේක්ෂව අඩු අවධානයක් විය. අලුත් අවුරුදු උදාවත් සමඟ සාම්ප්‍රදායිකව නැඟෙන රතිඤ්ඤා සහ වෙනත් ගිනිකෙළි හඬ අතීතයට වඩා අඩු විය. ජනතාව මත එල්ල වී ඇති ආර්ථික බර හඬ නැගීමට පටන් ගෙන ඇති අතර, අලුත් අවුරුද්දට සූදානම් වීම සඳහා අලුත් ඇඳුම් සහ වෙනත් භාණ්ඩ මිලදී ගැනීම් අඩුවීම තුළින් එය පැහැදිලි විය. ජනතාවගේ වියදම් ආදායමට වඩා වැඩි වූ වසරේ මුල් මාසවල, එම ඉතුරුම් පරිභෝජන සඳහා වැයකිරීම හේතුවෙන් සාමාන්‍ය ජනතාවට ප්‍රයෝජනයට ගැනීමට ඇත්තේ අඩු ඉතුරුම් ප්‍රමාණයක් බව අනුමාන කළ හැකිය. ‘World Bank Update: Bridges to Recovery’ නමින් අප්‍රේල් 2 වැනිදා නිකුත් වූ නවතම ලෝක බැංකු ප්‍රකාශනය පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව 2019 වසරේ සියයට 11 සිට 2024 වන විට සියයට 26 දක්වා වැඩි වී ඇති බවයි. එම වාර්තාවට අනුව, ශ්‍රී ලංකාවේ කුටුම්භවලින් ආසන්න වශයෙන් සියයට 60ක පමණ ආදායම් අඩු වී ඇති අතර, බොහෝදෙනෙක් ආහාර අනාරක්ෂිතභාවයට, මන්දපෝෂණයට සහ වර්ධනය අඩාළවීමට මුහුණ දී සිටිති.

උත්සව සහ අත්‍යවශ්‍ය නොවන දේ සඳහා වියදම් කිරීමට මිනිසුන්ගේ පැවැති ශුභවාදී හැඟීම අවසන්වී ඇති නමුත්, භුමියේ එම යථාර්ථයන්ට ප්‍රතිවිරුද්ධ ලෙස, අලූත් අවුරුද්ද දක්වා දිවෙන කාලය තුළ රටට සහාය දක්වන අන්තර්ජාතික මූල්‍ය ආයතනවලින් ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවට ධනාත්මක ප්‍රකාශයන් ලැබෙමින් පවතී. ආසියානු සංවර්ධන බැංකුවට අනුව, ශ්‍රී ලංකාව ප්‍රකෘතිමත් වීමේ ලකුණු පෙන්නුම් කරමින් සිටින අතර, 2023 දෙවැනි භාගයේදී කොළ එළි දල්වමින් උද්ධමනය තනි ඉලක්කම දක්වා පහත වැටී, විදේශ විනිමය සංචිත අඛණ්ඩව ගොඩනඟමින්, විනිමය අනුපාතිකය ඉහළ ගොස් ඇත. තවද, සැපයුම් තත්ත්වයන් වැඩිදියුණු වී ඇති අතර, සංචාරක පැමිණීම් සහ ප්‍රේෂණ ගලාඒම ප්‍රශංසනීය ප්‍රකෘතියක් පෙන්නුම් කරයි. ආසියානු සංවර්ධන බැංකුවේ වර්ධන පුරෝකථනය, ප්‍රතිසංස්කරණ අඛණ්ඩව පවත්වාගෙන යෑම සහ වඩා හොඳ පාරිභෝගික හා ව්‍යාපාරික මනෝභාවය මත රඳාපවතී. ඒ අතර, බාහිර විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කාලානුරූපව නිමකිරීම ශ්‍රී ලංකාවේ ණය තිරසාර බවට පත්කිරීමේ ප්‍රයත්නයන්ට සහාය වනු ඇත.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව විසින් මෑතකදී කරන ලද ප්‍රකාශවල සාරාංශය වන්නේ, රජය ඔවුන් සහාය දෙන IMF වැඩසටහන ඉදිරියට ගෙන යන බවත්, රට එම මාවතේ අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතු බවත්ය. උද්ධමනය සහ අයවැය හිඟය පිළිබඳ සාර්ව ආර්ථික ගැටළු අඩු වී ඇති බව ඔවුන් පෙන්වා දී ඇත. කෙසේවෙතත්, ඔවුන්ගේ සන්නිවේදනයේ අනතුරු ඇඟවීමේ අංග ද තිබේ. එකක් නම් එදිනෙදා ජීවිතය ගැටගසා ගැනීමට අපහසු ජන කොටස්වල අවශ්‍යතා ඉටුකිරීමට රජය වැඩි අවධානයක් යොමුකළ යුතු බවයි. නිදසුනක් වශයෙන්, දුප්පත් සහ අවදානමට ලක්විය හැකි ජන කොටස්වලට ඇති බලපෑම ආමන්ත්‍රණය කිරීමට අවශ්‍ය බවත්, අර්බුදයට යටින් පවතින හේතූන් විසඳීම සඳහා ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බවත් ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කර ඇත.

ප්‍රතිපත්ති පැහැදිලිකම
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සම්බන්ධයෙන් මෙම ප්‍රධාන ආධාරකරුවන්ගේ සන්නිවේදනයේ දෙවැනි අංගය වන්නේ, ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සුමට ලෙස ක්‍රියාත්මක කිරීමට බාධාකරන මැතිවරණ චක්‍රයේ අන්තරායන් පෙන්වාදීමයි. ශ්‍රී ලංකාවේ ඉදිරි මැතිවරණ IMF අනුග්‍රහය දක්වන රටේ ආර්ථික ප්‍රකෘතිමත් කිරීමේ වැඩසටහන අනතුරේ හෙළිය හැකි බවට ඔවුන් කනස්සල්ල පළකර තිබේ. මැතිවරණ වටා ඇති අවිනිශ්චිතතාව ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය පහත හෙළීමේ අවදානමක් ඇති කරයි. මෙය අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහන මන්දගාමී වීමට හේතු විය හැකි අතර, රට ආර්ථික ස්ථාවරත්වය කරා යන ගමනට බාධාවක් විය හැකිය. මැතිවරණ හේතුවෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහන 2024 දෙවැනි භාගය දක්වා ඇදී යාහැකි බවටත්, එය අමිහිරි දේශපාලන ප්‍රතිවිපාක ඇති කළ හැකි බවටත් ඔවුහු අනතුරු අඟවති.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙල අවසන් වනතුරු මැතිවරණයක් නොපවත්වන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශය, ඔක්තෝබර්  මාසයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය අනතුරේ හෙළයිද යන්න පිළිබඳව කනස්සල්ලක් මතුව තිබේ. බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටවල් සහ ජපානය ප්‍රධාන අනුග්‍රහකයන් වන අන්තර්ජාතික නියෝජිතායතන, හුදෙක් IMF වැඩපිළිවෙල ආරක්ෂා කිරීම සඳහා මැතිවරණ නොපැවැත්විය යුතු බවට අනුබල දෙනු ඇතැයි සිතිය නොහැක. ඔවුන්ගේ කනස්සල්ල වීමට බොහෝදුරට ඉඩ ඇත්තේ, ආණ්ඩුව අනවශ්‍ය වියදම් සීමාකිරීමේ වත්මන් උත්සාහයන් ලිහිල් කර, ඡන්ද ලබාගැනීමේ මාධ්‍යයක් ලෙස බදු අඩු කිරීම සහ සහනාධාර වැඩි කිරීම වැනි සුබසාධන ක්‍රියාමාර්ගවල නියැලීමේ උත්සාහයන්ය. ශ්‍රී ලංකාව මීට පෙර අත්සන් කළ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ගිවිසුම් 16 සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම පිළිබඳ අතීත වාර්තාව, රජය සිය කැපවීම් සම්බන්ධයෙන් සියයට සියයක් අවංක නොවනු ඇති බවට පවතින අනතුරු ඇඟවීමකි. විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ, තමන් බලයට පැමිණියහොත් IMF වැඩපිළිවෙල සම්බන්ධයෙන් යළි සාකච්ඡා කරන බව පැවසීමෙන් කනස්සල්ල තවත් තීව්‍ර වනු ඇත.

ශ්‍රී ලංකා ආර්ථිකයේ පුනර්ජීවනය සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහනේ පවතින වැදගත්කම සැළකිල්ලට ගෙන, මීළඟ ආණ්ඩුව පිහිටුවීමට සූදානම් වන විපක්ෂයේ ප්‍රධාන පක්‍ෂ දෙකම  ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව තම ස්ථාවරයන් පැහැදිලි කිරීම වගකීමකි. විශේෂයෙන්ම, ජනතා විමුක්ති පෙරමුණට අතීතයේ අන්තර්ජාතික වෙළෙඳපොළ ඉලක්ක කරගත් සංවර්ධනය ප්‍රතික්ෂේප කළ මාක්ස්වාදී පසුබිමක් ඇති බැවින්, ඔවුන් තම ස්ථාවරය පැහැදිලි කළ යුතුය. ඔවුන්ගේ ආර්ථික චින්තනය සාම්ප්‍රදායිකව අන්තර්ජාතික බලවතුන් විසින් සූරාකෑම ගැන සැක සහිත වූ අතර, රාජ්‍යය සංවර්ධනයේ එන්ජිම ලෙස ස්වයංපෝෂිත දේශීය ආර්ථික සංවර්ධනය ක්‍රියාවලියක් සඳහා මනාපය දක්වයි. කෙසේවෙතත්, එම හේතුව නිසාම සහ රැඩිකල් විකල්පයක් පිළිබඳ එහි ප්‍රතිරූපය නිසාම, රටේ හදිසි ආර්ථික කඩාවැටීමේ සන්දර්භය තුළ ‘පද්ධති වෙනසක්’ ඉල්ලා සිටි ‘අරගලය’ මහජන විරෝධතාවලින් පසුව, ජවිපෙ ජාතික දේශපාලනයේ අඳුරු අශ්වයා ලෙස මතුවී තිබේ.

පද්ධති වෙනස් කිරීම
වර්තමානය වන විට ආර්ථික විද්‍යාඥයන් සහ බුද්ධිමතුන් අතර පවතින පොදු එකඟතාවයට අනුකූලව, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සඳහා අන්තර්ජාතික මූල්‍ය ආයතනවල වැදගත්කම ජනතා විමුක්ති පෙරමුණ හඳුනාගෙන ඇති බව පෙනේ. ඔවුන් පවසා ඇත්තේ IMF වැඩසටහන අත්නොහරින බව සාකච්ඡා කරන බවයි. රාජ්‍ය මූල්‍ය ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය වන අතර වියදම් සහ ආදායම් අතර සමතුලිතතාවක් තිබිය යුතුය. ඒ අතරම, බංකොලොත්භාවයෙන් ඉවතට පැමිණීමේදී, එහි බර ඉහළ මට්ටමේ අයට වඩා සමාජයේ පහළම මට්ටමේ සිටින අයට නැවත බෙදාහැරීමක් සිදුවිය හැකිය. ඒ බව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් විසින් උකසට තබා ඇති දේපළ බලහත්කාරයෙන් විකිණීම පිළිබඳ පුවත්පත් දැන්වීම්වලින් පැහැදිලි වේ. “අසාර්ථක වීමට ඉඩදිය නොහැකි තරම් විශාල” ව්‍යාපාර සුරැකීමට ප්‍රමුඛත්වය දෙමින් රජය සුළු හා මධ්‍ය පරිමාණ පිරිස් ආරක්ෂා නොකිරීමට තෝරාගෙන ඇත.

මහජනතාව විසින් ඉල්ලා සිටින “පද්ධති වෙනස් කිරීම” යනු ඉහත පෙන්වා දුන් ආකාරයට ආර්ථික සාධාරණත්වය පමණක් නොව වාර්ගික සහ ආගමික සුළුතරයන්ට විශේෂ වැදගත්කමක් ඇති අන්තර් වාර්ගික යුක්තිය පිළිබඳ ප්‍රශ්නය ද ඇතුළත් වේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස වසර දෙකකදී සහ අගමැති ලෙස කටයුතු කළ වසර දෙකේදීම විසඳුමක් ලබාදීමට අපොහොසත් වුවද ගැටලුව සහ විසඳුම පිළිබඳ විග්‍රහයේ දී වඩාත් පැහැදිලිව පෙනීසිටියේය. තම පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගියදා වෘත්තීයවේදීන් පිරිසක් අමතා සමාජයේ පවතින වාර්ගික, ආගමික, කුල සහ සමාජ පන්ති භේද හඳුනා ගනිමින් කළ අපූරු කතාවක් සිදුකළේය. එසේම, ජවිපෙ නායක අනුර කුමාර දිසානායකද, 1948 දී ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනයාගේ ඡන්ද අයිතිය අහෝසි කිරීමේ සිට පටු වාර්ගික ජාතිකවාදය මැතිවරණ ජයග්‍රහණය සඳහා යොදාගැනීම පිළිබඳ පුළුල් විග්‍රහයක් සපයන කතා පවත්වමින් සිටී.

සිය අලුත් අවුරුදු පණිවිඩයේ, ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂයකට නව මාවතක් විවර කරමින්, ජවිපෙ නායකයා වාර්ගික සහ ආගමික සුළුතරයන් ‘ජාතිකයන්’ ලෙස හඳුන්වා ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රජාවන් සංස්කෘතික, ආගමික සහ භාෂාමය කණ්ඩායම් පමණක් නොව දේශපාලන ආයතන ද වේ. ඔවුහු සියලුදෙනාම තම අනන්‍යතාව ආරක්ෂා කර ගැනීමටත් භේදයකින් තොරව ශ්‍රී ලංකා රාජ්‍යය විසින් සමානව සැළකුම් ලැබීමටත් ප්‍රාර්ථනා කරති. ඔවුන් ‘ජාතිකත්වයන්’ ලෙස හැඳින්වීමේදී ජවිපෙ නායකයා ප්‍රයෝජනයට ගෙන ඇත්තේ, ප්‍රාදේශීය ස්වයං පාලනය ඍණාත්මක නොව ධනාත්මක වන මාක්ස්වාදී දේශපාලන සම්ප්‍රදායයි. කෙසේවෙතත්, ප්‍රජාවන් අතර බලය බෙදාගැනීමේ ප්‍රශ්නය විසඳීම සඳහා, තමන් සැබැවින්ම ඉදිරිපත් කරන විසඳුම සම්බන්ධයෙන් ජවිපෙ වඩාත් නිශ්චිත විය යුතුය. මෙහිදී ඔවුන්ට, අතීතයේ සිය විරුද්ධ ආස්ථානයන් සහ ක්‍රියාවන් සමඟ කටයුතු කිරීමට ද අවශ්‍ය වනු ඇත. ආර්ථිකය සම්බන්ධයෙන් සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ගිවිසුම සම්බන්ධයෙන් ඔවුන් කරන්නේ කුමක්ද යන ප්‍රශ්නයට වඩා මෙය වෙනස් නොවේ. ශ්‍රී ලංකාවට නායකත්වය ලබාදීමටත්, ආර්ථික සංවර්ධනයට සහ ජාතික සමගිය සඳහා වූ ක්‍රමවේද වෙනසක් ඇති කිරීමටත් අපේක්ෂාවෙන් සිටින කණ්ඩායම් ග්‍රහණය කර ගත යුතු කරුණු මේවාය. ව්‍යාපාරික හා දේශපාලන ක්ෂේත්‍රවල බලතල දරන අයටත්, ජීවිතය ගැට ගසා ගැනීමට දඟලන පහළම ස්ථරවල අයටත් පිළිගත හැකි පිළිතුරු ලබාදිය යුතුය.

ජෙහාන් පෙරේරා

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment