ශ්‍රී ලංකා යුධ හමුදාවෙන් ‘Made in Sri Lanka’

by admindasun
0 comment 68 views

ශ්‍රී ලංකා යුධ හමුදාවේ උඩවලව ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු වැඩපලේදී එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරී සඳහා පිටත් කර යැවීමට බර වාහන නිෂ්පාදනය කිරීමෙන් පසුව ඉදිරි වර්ෂවලදී ස්වකීය නිෂ්පාදන හැකියාවන් සඳහා නව ප්‍රවේශයක් එක් කරමින් යුධ හමුදාවට අවශ්‍ය වාහන යුධ හමුදාව තුළම නිෂ්පාදනය කිරීම මේ වන විට අරඹා ඇත.

ඒ අනුව උසස් ප්‍රමිතීන් සහිතව නිපදවන ලද ගලි බවුසර්, වතුර බවුසර් සහ බහුකාර්ය ට්‍රක් රථ පසුගියදා යුධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ අධීක්ෂණයට ලක් කෙරුණි.

යුධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා නව වාහන පරික්‍ෂා කිරීමෙන් අනතුරුව එම වාහනවල යාන්ත්‍රික හා ඉංජිනේරු අංශ, භූමියේ ගමන් කිරීමේදි ශක්‍යතාව, විදේශීය වෙළෙද පොළ සඳහා මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීමේ හැකියාව සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ කාර්මිකයින්ගේ විශේෂඥභාවය සහ නිර්මාණත්මක හැකියාවන් පිළිබඳව විමසා බැලීය.

යුනිකෝල්ට් ලෙස නම් කරන ලද මෙම වාහන නිෂ්පාදනයේදී එන්ජිම සහ බඳ හැර දේශීයව නිපදවන ශ්‍රී ලාංකික අමතර කොටස් භාවිතා කිරීමෙන් යුධ හමුදාවට සැලකිය යුතු අඩු පිරිවැයක් දැරීමට සිදුවන අතර එම වාහන ආනයනය කිරීමට සිදුවුවහොත් විදේශ විනිමය විශාල ප්‍රමාණයක් රටට වැය වේ.

මෙම ව්‍යාපෘතියට යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් දුමින්ද සිරිනාග මෙන්ම යුධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඉන්දු සමරකොන් විසින් අඛණ්ඩව දිරිගැන්වීම, සහාය හා මඟපෙන්වීම ලබා දෙන ලදී.

ලීටර් 5000 ක ධාරිතාවයක් සහිත මෙම ගලි බවුසරය නිෂ්පාදනය කිරීම සඳහා යුධ හමුදාවට වැය වන්නේ රුපියල් මිලියන 2.5 ක් පමණි. එහි එන්ජිම ජල සිසිලනය, ටර්බෝ ආරෝපණය, වායුසමීකරණය කරන ලද කැබින්, පසුපස කැමරාවක් සහිත ශ්‍රව්‍ය පද්ධතිය, ජීපීඑස් ලුහුබැඳීම, එන්ජින් උණුසුම් අනතුරු ඇඟවීම ඇතුළු තවත් විශේෂිත අංග කිහිපයක් සමන්විතය. එසේම, ලීටර් 8000 ක ධාරිතාවයකින් යුත් නව ජල බවුසරය රුපියල් මිලියන 1.5 ක වියදමින් නිෂ්පාදනය කරන ලදී. එමෙන්ම, රුපියල් මිලියන 1.1 ක වියදමින් නිපදවන බහුකාර්ය ට්‍රක් රථය වායුසමීකරණය කරන ලද කැබින්වලින් සමන්විත වේ.

යුධ හමුදාවේ අවශ්‍යතා අනුව විදේශීය මෙහෙයුම් අරමුණු කරගනිමින් මෙම වාහන අනාගතයේදී ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා කාර්මික ශිල්පීන් සහ ඉංජිනේරුවන් විසින් නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කෙරේ.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment