සුහද තරගකාරීත්වය ඔස්සේ ඉගෙනුම් විශිෂ්ටත්වය කරා සිසුන් කැඳවාගෙන යන ‘Brain Busters with SLIIT’ රූපවාහිනී දැනුම මිනුම තරගාවලියේ දෙවැනි අදියර (season 2) පසුගියදා රත්මලාන ස්ටෙයින් ස්ටුඩියෝස් මැදිරි සංකීර්ණයේදී සාර්ථක ලෙස නිමාවට පත්විය.
මාතර සුජාතා විද්‍යාලයේ ටෙෂිනි එච්. රුවන්පතිරණ සිසුවියට තරගාවලියේ ජයග්‍රහණය හිමි වූ අතර කොළඹ රාජකීය විදුහලේ විලාන් සන්දීව් බණ්ඩාර කරුණාරත්න හා කොළඹ ආනන්ද විදුහලේ සොනාල් රණතුංග පිළිවෙලින් දෙවැනි හා තෙවැනි ස්ථාන දිනාගැනීමට සමත් වූහ.
මෙම සිසුන් තිදෙනා, 2019 ඔක්තෝබර් මාසයේ පැවැති අවසාන පූර්ව වටයට එක්ව සිටි සිසුන් 27 දෙනා අතරින් වැඩිම ලකුණු රැස් කරගනිමින් අවසාන වටයට පිවිසීම ද කැපී පෙනේ. සම්මාන හා සහතික පත්‍රවලට අමතරව තරග වටවලදී ආකර්ෂණීය මුදල් ත්‍යාග දිනාගැනීමට ද අවසාන වටයේ සියලු තරගකරුවන්ට හැකිවිය.
අවසාන වටයේදී ජයග්‍රහණ වාර්තා කළ සිසුන්ගේ පාසල්වලට ද වටිනා මුදල් ත්‍යාග පිරිනැමුණි. SLIIT උසස් අධ්‍යාපන ආයතනය නියෝජනය කරමින් උදිත ගමගේ මහතා සහ අසංගි ජයසිංහ මෙනෙවියත්, අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්ෂ දර්ශන විජේසිංහ මහතාත් අවසාන වටයේ විනිශ්චයකරුවන් ලෙස සම්බන්ධ වූහ.
SLIIT උප කුලපති හා ප්‍රධාන විධායක නිලධාරී මහචාර්ය ලලිත් ගමගේ, කුලපති හා සභාපති මහාචාර්ය ලක්ෂ්මන් රත්නායක, නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය නිමල් රාජපක්ෂ, ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මහාචාර්ය සමන් තිලකසිරි, සංවර්ධන සහ ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ උදිත ගමගේ සහ ව්‍යාපාර සංවර්ධන ජ්‍යෙෂ්ඨ කළමනාකාරිණී අසංගි ජයසිංහ යන මහත්ම මහත්මීහු ජයග්‍රාහකයින්ට සහ පාසල් නියෝජිතයින්ට සම්මාන පිරිනැමූහ.
