ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා වසර 62කට අධික කාලයක් කැපවී ක්‍රියා කල ආයතනයක් වන ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සංගමය (FHA Sri Lanka) රටෙහි මූල්‍ය පද්ධතියේ සංවර්ධනය උදෙසා විශාල කැපකිරීමක් සිදු කරන ආයතනයකි. දේශීය ආර්ථික වර්ධනය උදෙසා විශාල දායකත්වයක් සපයන බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත්‍රය විධිමත්ව නියාමනය කිරීමේ අරමුණ ඇතුව වර්ෂ 1958 දී ආරම්භ කළ මෙම සංගමය අද වන විට රටේ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය සඳහා විශාල කැපකිරීමක් සිදු කරයි. බලපත්‍රලාභී නොවන, කිසිඳු නියාමනයක් නොමැති බැංකු නො වන මූල්‍ය ආයතන මගින් රටේ මූල්‍ය පද්ධතියට වන දැඩි හානිය වළක්වා ගැනීම සහ මහජනතාවට බියෙන් සැකෙන් තොර සිය ආයෝජනයන් හා වෙනත් මූල්‍ය ගනුදෙනු සිදු කිරීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කිරීම මෙම සංගමයේ ප්‍රධාන අරමුණ වේ.
පසුගියදා පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මෙම සංගමය පවසා සිටියේ තව දුරටත් බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රය තුළ නියාමකයකු ලෙස ක්‍රියාකරමින් විධිමත් මූල්‍ය පද්ධතියක් තුළින් මහජනතාව සවිබල ගැන්වීම සඳහා ඔවුන් කැපවී ක්‍රියා කරන බවයි. මෙහිදී ආචාර ධර්මානුකූල, විධිමත් හා කාලෝචිත මූල්‍ය ප්‍රතිපත්ති වල වැදගත්කම ඔවුන් විසින් අවධාරණය කරන ලදී.
මෙම සංගමයේ නීතී හා අනුකූලතා කමිටුව සහ මානව සම්පත් සංසදය විසින් මෙහි සාමාජික සමාගම් උදෙසා සිය ගැටළු, නව ප්‍රවණතා සහ අදහස් පිළිබඳ කරුණු සාකච්ඡා කිරීමට ඉඩ කඩ සළසයි. මෙහිදී සාමාජික සමාගම් විසින් මූල්‍ය පද්ධතියේ ප්‍රගතිය උදෙසා වන විශාල කරුණු කාරණා රැසක් එකි නෙකා හා සාකච්ඡා කිරීම සිදු කරනු ලබයි. තවද බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රය තුළ තිබෙන බලපත්‍රලාභී ආයතන නියෝජනය කරමින් විටින් විට මහ බැංකුව ඇතුළු මූල්‍ය පද්ධතියේ විවිධ කොටස් කරුවන් සමඟ නිතරම සාකච්ඡා සිදු කරමින් රට තුළ යහපත් මූල්‍ය පද්ධතියක් නිර්මාණය කිරීමෙහිලා මොවුන් කැපවී ක්‍රියා කරයි. එක් කොට්ඨාසයකට පමණක් සීමා නොවී රටේ ජනතාවගේ මූල්‍ය සාක්ෂරතාවය වර්ධනය කිරීම උදෙසා විවිධ සමාජ ක්‍රියාකාරකම්, ලියාපදිංචි වූ මූල්‍ය සමාගම්වල ධනාත්මක ප්‍රතිරූපය වර්ධනය කිරීම සඳහා වූ කාර්ය මණ්ඩල පුහුණු කිරීමේ වැඩසටහන් ඇතුළු විවිධ ව්‍යාපෘති ගණනාවක් මෙම සංගමය විසින් මෙහෙයවනු ලබයි.
ලියාපදිංචි වූ මූල්‍ය සාමාගම් ක්ෂේත්‍රය තුළින් රටේ ආර්ථිකයට විශාල මෙහෙවරක් සිදු කරනු ලබයි. විශේෂයෙන්ම බස්නාහිර පළාතෙන් ඔබ්බෙහි වූ අනිකුත් සියළුම පළාත්වල වෙසෙන මහජනතාවගේ දෛනික ණය අවශ්‍යතා වලින් රැසක් ඉටු කරනු ලබන්නේ ලියාපදිංචි මූල්‍ය සමාගම් විසින්ය. දුෂ්කර පළාත්වල වෙසෙන අපේම ජනතාවට ඕනෑම ආකාරයේ ණය අවශ්‍යතාවයකට පහසුවෙන්ම ළඟා විය හැකි සේවාවන් රැසක් ලියාපදිංචි වූ මූල්‍ය සාමාගම් විසින් සපයනු ලබයි. අවම ලියකියවිලි භාවිතයෙන් ඉතා කඩිනම් සේවාවක් ලබා දීමට මෙම ආයතන සමත් වී ඇති අතර, මින් අද වන විට ඉහළම ප්‍රතිලාභ ලබන්නේ දහසකුත් වූ කුඩා පරිමාණ ව්‍යාපාරිකයින් සහ ව්‍යවසායකයින්ය.
