අප සැම එළඹ ඇත්තේ මෙරටේ 9 වන පාර්ලිමේන්තුව සඳහා අපගේ මහජන නියෝජිතයා තෝරාගැනීමේ තීරණාත්මක අවස්ථාව වෙතය. මෙරටේ අනාගත දිශානතිය තීරණය වනු ඇත්තේ එළෙස පත්වන මහජන නියෝජිතයන්ගේ කාර්යක්‍ෂමතාව හා අකලංක කැපවීම ඔස්සේ ය. ඔවුන් අනලස්ව ගනු ලබන තීන්දු තීරණ හා තම දායකත්වය දෙනු ලබන ප‍්‍රතිපත්ති සම්ප‍්‍රාදන ක්‍රියාවලිය ද මෙරටේ අනාගතය තීරණය කරනු ලබන තීරණාත්මක සාධක වනු ඇත්තේ ය.
එබැවින් එවන් සාධනීය කාර්‍යභාරයක් සිදුකිරීමෙහිලා සමත් මහජන නියෝජිතයන් තෝරා ගැනීමට පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය, නිසැකවම අපගේ අනාගත ළමා පරපුරේ ද අනාගතය තීරණය කරනු ඇත්තේ ය.
එහෙයින් ඔබ ඔබගේ අභිමතය කවර දේශපාලන පක්‍ෂයක් හෝ අපේක්‍ෂකයෙක් වෙත පළකල ද එහිදී දෙවරක් සිතා බලන ලෙස අප ඉල්ලා සිටීමට කැමැත්තෙමු. ඔබ අභිමුවට පැමිණෙන අපේක්‍ෂකයන් කෙතරම් ප‍්‍රමාණයක් මංගල හෝ අවමංගල්‍යය උත්සව සඳහා සහභාගි වී ඇත්ද යන්න හෝ මහජන මුදලින් පිළිසකර කොට ජනගත කොට ඇති මාර්ග සංඛ්‍යාව පිළිබඳව නොව, ඔහු හෝ ඇය තම මහජන නියෝජිතත්වය එලෙසින්ම ඉටු කළ හැකි පුද්ගලයෙකු ද යන්න සළකා බැලීම මෙහිලා වැදගත් ය. එවන් තැනැත්තෙක් තෝරා ගැනීමට තරම් ඔබ නැණවත් විය යුතු බව අවධාරණය කිරීමට කැමැත්තෙමු.
ඔබ අභිමත අපේක්‍ෂකයා පසුගිය පාර්ලිමේන්තුවේ රැඳී සිටි මහජන නියෝජිතයෙක් නම්, එකී නියෝජිතයා කෙතරම් ප‍්‍රමාණයක් ජනතා හිතකර තීන්දු ගෙන ඇතිද යන්න විමසා බලනු වටී. තවද පාර්ලිමේන්තු සැසිවාර සඳහා සක‍්‍රීය සහභාගිත්වයක් දක්වා තිබේද යන්න සහ පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී ජනතා ප‍්‍රශ්න පිළිබඳ සභාව අමතා ඇත්තේ කවර අයුරකින්ද යන්න ද පළමුව විමසා බලා දෙවනුව ඡන්දය භාවිත කරන ලෙස ඉල්ලා සිටීමට කැමැත්තෙමු.
කවර හෝ අපේක්‍ෂකයෙක් ආධාර ද්‍රව්‍ය හෝ උපකරණ ආදිය බෙදා ඇත්නම්, හෝ කවර හෝ අනිසි අයුරකින් තම අපේක්‍ෂකත්වය ප‍්‍රවර්ධනය කර ගැනීම සඳහා මැතිවරණ නීති උල්ලංඝනය කොට ඇත්නම්, එවන් අපේක්‍ෂකයන් තෝරා නොගැනීමට ඔබ වගබලාගත යුතු බව අවධාරණය කරනු කැමැත්තෙමු. සුපිළිපන්න මැතිවරණයක් සඳහා සහය නොදක්වමින් නීත්‍යානුකූල නොවන මූලාශ‍්‍ර ඔස්සේ ලබාගන්නා මුදලින් තම ප‍්‍රචාරක ව්‍යාපාර දියත් කරන කවර හෝ අපේක්‍ෂකයෙකු වේද ඔහු හෝ ඇය උත්සාහ කරනු ඇත්තේ එවන් අර්ථපතියන් තෘප්තිමත් කිරීම සඳහාය. මැතිවරණයක් යනු පුරවැසියා හට ලැබෙන ස්වර්ණමය අවස්ථාවකි. ඡන්දය ඔබේ බලයයි, ඡන්දය ඔබේ හඬයි, පිරිසිදු දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමට සමත් දේශපාලන පක්‍ෂ හෝ අපේක්‍ෂකයන් තෝරාගැනීම ඔබේ පළමු වගකීමයි.
රෝහණ හෙට්ටිආරච්චි
පැෆ්රල් සංවිධානය
(කැඳවුම්කාර මණ්ඩලය වෙනුවෙන්)
