පාස්කු ඉරිදා අහිමි වූ ජීවිතවලට සදාතනික අගයක්!

by admindasun
0 comment 29 views

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සිදු කෙරුණේ ඇයි, ඒ සඳහා පාස්කු ඉරිදා ම තෝරාගැනුණේ ඇයි, ඒ සඳහා මූලික ව ම කතෝලික දේවස්ථාන තෝරා ගැනුණේ ඇයි යන ප‍්‍රශ්නවලට නිශ්චිත පිළිතුරු ඒ ප‍්‍රහාරයන්ට වසරක් පිරෙන මේ අවස්ථාවේ දී ද අපි නොදනිමු. එහෙත් ප‍්‍රහාරකයන් යම් අවස්ථාවක දී බෞද්ධ මුහුණුවරක් ගැනීම පිණිස සිවුරු හා සිල්රෙදි රැස්කර තිබූ බව, පාස්කු ප‍්‍රහාරයත් සමඟ ම ජාත්‍යන්තර මාධ්‍ය අන්තවාදී බෞද්ධයන් ගැන අදහස් පළ කළ බව සැළකිල්ලට ගත්කළ කුපිත වන ජන සමූහයා අතින් පැන නගින ගිනිජාලාවන් මතින්, ලේ ගංගා මතින්, මළමිනී කඳුමතින් බෞද්ධයා වගකිවයුතු කළු පාස්කුවක් සැලසුම් වී තිබෙන්නට ඇති බව පෙනීයයි. දෙමළ ජනවර්ගයට හා නව ක‍්‍රිස්තියානි ලබ්දියකට අයත් වන එම්. සුමන්තිරන් මන්ත‍්‍රීතුමා වරද බෞද්ධයන් පිට පටවමින් මේ ප‍්‍රහාරය සාධාරණීයකරණය කිරීමට නිර්භීත (නිර්ලජ්ජිත) වූ බව ද අප අමතක නොකළ යුතුය. අතිඋත්තම මැල්කම් රංජිත් කාදිනල්තුමාගේ ජනයා සන්සුන් කළ මැදිහත්වීම, ලබාදුන් විශිෂ්ට නායකත්වය නොවන්නට මේ ම්ලේච්ඡු සිහින සැබෑවනු ඇත.

ඒ අඳුරු මොහොතේ සෑම සියලූ ශ‍්‍රී ලාංකිකයෙකුගේම හදවත්හි රැව්දුන් දයාවේ, සාධාරණත්වයේ හා යුක්තියේ හඩ ඉතා සන්සුන් ලෙසත් තිරසාර ලෙසත් නැගීමට උන් වහන්සේ සමත් වූ බව අප සිහිපත් කරනුයේ කෘතඥපූර්වකවය. මේ නිසාම පසුගිය වසර තුළ ම්ලේච්ඡ ප‍්‍රහාරකයන්ගේ බලාපොරොත්තු සුණුවිසුණු කරමින් බෞද්ධ කිතුණු සමගිය අද අන් කවරදාටත් වඩා ගොඩනැගී ඇත. සුළු වාර්ගිකයින්ගේ, සුළු ආගමිකයන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරගැනීම බෙදීම, වෙන්වීම මගින් නොව, මේ රටේ ප‍්‍රධාන සංස්කෘතිය හා එක්වීමෙන් බව කාදිනල්තුමා මේ තීරණාත්මක මොහොතේදී ද පෙන්වාදුනි. ඒ එක්වීම තුළ, ඒ සහෝදරත්වය තුළ ප‍්‍රධාන සංස්කෘතියද ඒ අන්‍ය ආගම්හි සාරධර්මයන්ගෙන් පෙරලා පෝෂණය වී සැමට අපේ යැයි කිවහැකි මහා සංස්කෘතියකට මග පාදනු ඇත.

බෞද්ධ, කි‍්‍රස්තියානි සමගිය බෞද්ධ, ක‍්‍රිස්තියානි, හින්දු, ඉස්ලාම් සැමගේ සමගිය පිණිස පදනමක් සපයන්නේ නම් එය පාස්කු ප‍්‍රහාරයෙන් අහිමි වූ සෑම ජීවිතයකටම සදාතනික අගයක් ලබාදීමක් වනු ඇත.

ගෙවිඳු කුමාරතුංග
සභාපති – යුතුකම ජාතික සංවිධානය

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment