කොවිඩ් – 19 පාලනයට ජාතික සංවිධානවලින් ඉදිරිපත් කළ පස් වැදෑරුම් උපාය මාර්ග

by admindasun
0 comment 27 views

කොවිඩ් – 19 වසංගතයක් ලෙස ලෝකය පුරා පැතිර යන විට ශ්‍රී ලංකාවද මෙම තත්ත්වය නිසා ඉතා අසීරුතාවට පත් වී ඇති බව මේ වන විටත් සියළු දෙනා දන්නා කරුණකි.

මෙම තත්ත්ව හමුවේ ජාතික සංවිධාන එකමුතුව විසින් ඔවුන් සිදු කරන ලද අධ්‍යනයක ප්‍රතිඵල ඇසුරෙන් සකස් කෙරුණු වැඩපිළිවෙළක් පිළිබදව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් කළ බව එහි කැදවුම්කරු වෙෙද්‍ය ගුණදාස අමරසේකර මහතා විසින් පැවසුවේය.

මෙවැනි තත්වයක් තුළ මෙතැන් පටන් මේ වන විට ගනු ලැබූ ප්‍රශස්ථ පියවර තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙනයායුත්තේ කෙසේදැයි තමා විසින් පත් කරන ලද දේශීය සහ විදේශීය විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් මඟින් විමසන ලද බවත් එම කමිටුව විසින් ඉදිරිපත් කළ උපායමාර්ගික ප්‍රවේශය මෙසේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ බවත් වෙෙද්‍ය අමරසේකර මහතා පැවසුවේය.

එම පස් වැදෑරූම් වැඩපිළිවෙළ පහතින් දැක්වේ.

  1. සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාම සඳහා ඇඳිරිනීතිය පැනවීම, දිස්ත්‍රික් අතර ගමනාගමනයට සීමා පැනවීම සහ තෝරාගත් ප්‍රදේශ අවශ්‍යතාවය අනුව ‘‘ලොක් ඩවුන් ‘‘ හෙවත් වසා දැමීම ආදී පියවර රෝග පාලනයේ තීරණාත්මක සන්ධිස්ථානය ලඟා කරගන්නා තෙක් ලිහිල් නොකිරීම.
  2. උපායමාර්ගිකව තීරණාත්මක සාධකයක් ලෙස සැක කටයුතු සියලු ස්පර්ශකයින් සහ නිරෝධානයට ලක්ව සිටින පිරිස් ඇතුළු රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන එහෙත් සමාජය තුළ රෝගය පතුරුවන පිරිස් වහාම හදුනා ගැනීම සහ ප්‍රතිකාර ජාලයට ඇතුළු කර ගැනීම සඳහා ස්ක්‍රීනින් පරීක්ෂණ ප්‍රමාණය ශීග්‍රයෙන් වැඩි කිරීම. උදාහරණයක් ලෙස අවම වශයෙන් දිනකට සිදු කරන ස්ක්‍රීන් පරීක්ෂණ ප්‍රමාණය 5,000 – 10,000 අතර ප්‍රමාණයක් දක්වා වැඩි කිරීම.
  3. ඉහත (02) උපායමාර්ගයට අනුව පරීක්ෂණ වැඩි කිරීම සඳහා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් RT – PCR යන්ත්‍ර 21ක්, විශ්වවිද්‍යාල සහ පර්යේෂණ ආයතන සතු යන්ත්‍ර 36 ක් සහ පෞද්ගලික අංශය සතු යන්ත්‍ර 6ක් වශයෙන් 63ක් වන සමස්ථ ධාරිතාව මධ්‍යගත අධීක්ෂණ යාන්ත්‍රණයකට යටත්කොට අවශ්‍ය දිස්ත්‍රික්ක සඳහා වෙන් කිරීම. එම යන්ත්‍ර පද්ධතිය මගින් කිසිදු ගැටළුවක් නැතිව එක් දිනකට පරීක්ෂණ 10,000ක් සිදු කළ හැකි අතර අවශ්‍ය විශේෂඥ පිරිස් බලය වැඩිකර ගැනීම සඳහා එම යන්ත්‍ර භාවිතය පිළිබඳ විශේෂඥ දැනුම සහිත පශ්චාත් උපාධි සිසුන් සහ විශ්‍රාමික විද්වතුන් කැඳවිය හැක. (මෙම පද්ධතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සැපයුම් පිළිබඳව විධිමත්ව සොයා බලා ඒවා ලබා ගැනීමේ යාන්ත්‍රණයක්ද පිහිටු විය යුතුය.)
  4. යම් රෝග ලක්ෂණ පහළවීම නිසා හෝ තමා ස්පර්ශකයෙකු යැයි සැක කරන විට ඒ අය සහ අසල්වැසියෙකු හෝ ඥාතියෙකු ස්පර්ශකයෙකු යැයි සැක කරන විට ඒ බව දැනුම් දීම සඳහා සෑම දිස්ත්‍රික්කයකම 1ක් බැගින් ප්‍රධාන රෝහලක් ආශ්‍රිතව මධ්‍යස්ථානයක් පිහිටුවීම හා දුරකථන අංකයක් ප්‍රකාශයට පත් කිරීම මෙන්ම තව දුරටත් ස්පර්ශකයින් සොයා යාම අවශ්‍යවන අවස්ථාවල එම තොරතුරු මහජන සෞඛ්‍ය අංශ සහ රාජ්‍ය බුද්ධි අංශය වෙත ලබා දීම. (එම මධ්‍යස්ථානය තුළ රෝගියෙකුට කළ යුතු දේ පිළිබඳව සහ රෝගය පිළිබඳ උපදෙස් දීම සහ අවශ්‍ය නම් කැඳවා පරීක්ෂණ සඳහා සාම්පලයක් ලබා ගැනීම, තොරතුරු විධිමත්ව ලේඛනගත කිරීම සහ රෝගියා වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කිරීම යන වගකීම් ඉටු කිරීම සඳහා වන පහසුකම් නිසි ආරක්ෂණ ක්‍රමවේද සහිතව ලබා දිය යුතුය.)
  5. ඉහත 03 උපාය මාර්ගය අනුව T RCR යන්ත්‍ර උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක කිරීමේදී මතුවන ප්‍රායෝගික ගැටළුවලට විසඳුමක් ලෙස සහ අවශ්‍යතාව වැඩි වීමේ තත්වයන්ට මුහුණ දීම සඳහා දැනට වාණිජ මට්ටමින් යොදා ගනු ලබන “ Rapid test ” ලෙස හඳුන්වන විනාඩි 5 – 15 ත් අතර කාලයකදී ප්‍රතිඵල ලබාගත හැකි පරීක්ෂණ ක්‍රම (02)ට අදාළ පරීක්ෂණ කට්ටල වහාම ආනයනය කිරීම සහ ඒ සඳහා රාජ්‍යයන් අතර ගනුදෙනුවක් ලෙස චීනය, රුසියාව සහ ඇමරිකාව යන රටවල්වලින් ඉල්ලීම් කිරීම. එම පරීක්ෂණ වර්ග දෙකෙන් එකක් PCR පරීක්ෂණයට විකල්පයක් වන  “ Antigen ” පරීක්ෂණයක් වන අතර අනෙක “ Antibody ” පරීක්ෂණයක් හෙවත් රුධිරයේ ප්‍රතිදේහ වර්ග දෙකක් පරික්ෂා කිරීම සඳහා යොදා ගන්නා ඇඟිල්ලක් විදීම මඟින් රුධිරය ලබා ගැනීම හරහා සිදුකරන මිල අඩු සරල රුධිර පරීක්ෂණයකි. (එම දෙවන පරීක්ෂණය හෙවත් ප්‍රතිදේහ පරීක්ෂණයේ ප්‍රතිඵල ලබාගැනීම සඳහා විෂබීජ ශරීරගත වී දින 5-7 කාලයක් ගතවේ. එම නිසා එම පරීක්ෂණය අතුරු හෝ දෙවන පරීක්ෂණයක් ලෙස භාවිත කිරීමට හැක.)

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment