සමහර පෞද්ගලික සමාගම් මේ වන විටත් පඩි ගෙවීම කපා හැරලා – ජවිපෙ කියයි

by admindasun
0 comment 19 views

පවතින කොවිඩ් – 19 වසංගත තත්ත්වය හමුවේ සමාගම් වසා දමා ඇති අතර සේවකයන්ට පඩි ගෙවීමද නවතා දමා ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා පැවසුවේය.

තව දුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ පෞද්ගලික අංශයේ සමාගම්, ඇගළුම් කර්මාන්ත ශාලා, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ශාලාවල මෙන්ම සාමාන්‍ය කඩ සාප්පුවල සේවය කළ සේවකයින් මේ නිසා මහත් අපහසුතාවට පත්ව ඇති බවයි.

“අපි දන්නා තරමින් සමහර සමාගම්වල ගෙවලා තියෙන්නෙ වැටුපෙන් බාගයයි. සමහරු මූලික වැටුප විතරයි. විශේෂයෙන් ඇගළුම් කර්මාන්ත ශාලාවල මේ දේ සිදු වෙලා තියෙනවා,” යැයි සමරසිංහ මහතා පැවසුවේය.

මේ වන විට නිදහස් වෙළෙද කලාප ඇතුළු ලංකාව පුරා ඇගළුම් කර්මාන්තශාලාවල සේවය කරන සංඛ්‍යාව ලක්ෂ 03ක් පමණ වන අතර සමස්ථ පෞද්ගලික අංශයේ සේවයේ නියුතු සංඛ්‍යාව ලක්ෂ 40ක් පමණ වන බවත් ඔහු පැවසුවේය.

මේ සම්බන්ධයෙන් මැදිහත් වී පෞද්ගලික අංශයේ සමාගම්වලට තම වැටුප් ගෙවිය හැකි ආකාරයෙන් සහනයක් සලසා හෝ මේ අවස්ථාවේ අසාධාරණයට ලක්වී අසරණ වී සිටින සේවක සේවිකාවන්ට වැටුප් ලබා දීමට කටයුතු කළ යුතු බවත් ඒ සදහා අන්තර් සමාගම් සේවක සංගමය ලෙස තමන් තව දුරටත් මැදිහත් වන බවත් සමරසිංහ මහතා පැවසුවේය.

තවද සමරසිංහ මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තම සංගමය කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද හමුවීමට නියමිත බවයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment