ශ්‍රී ලංකා පරිගණක සංසදය (CSSL) විසින් සංවිධානය කළ 2019 තොරතුරු සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙලේදී, ‘වසරේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ නායිකාව’ (ICT Leader of the Year Award) ගෞරව සම්මානය දිනාගැනීමට SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය වින්ධ්‍යා රන්කොත්ගේ මහත්මිය සමත් වූවාය.
අඛණ්ඩ වෘත්තීය දියුණුව හා ජයග්‍රහණ හරහා තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයට දැක්වු විශිෂ්ට දායකත්වය ඇයට මෙම සම්මානය හිමිවීමට මූලික වශයෙන් බලපා තිබුණි. තව ද මෙම සම්මානය දිනාගත් වයසින් ළාබාලතම පුද්ගලයා ඇය වීම ද කැපීපෙනේ.
ශ්‍රී ලංකා පරිගණක සංසදය යනු 1976 වසරේ පටන් මෙරට තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමිතීන් ප්‍රවර්ධනයට හා වැඩිදියුණුවට කැපවී කටයුතු කළ ප්‍රමුඛ ආයතනයකි. එම සංසදය වාර්ෂිකව සංවිධානය කරනු ලබන සම්මාන උළෙල හරහා මෙරට තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ටතම වෘත්තීකයින් අගයනු ලැබේ. තව ද ශ්‍රී ලංකාවේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයට අතීතයේ සේවය කළ අයට ද එහිදී සම්මාන පිරිනැමේ.
ආචාර්ය රන්කොත්ගේ මේ වනවිට SLIIT හි පරිගණක පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙස සේවය කරන අතර, එහි තොරතුරු තාක්ෂණ විද්‍යාවේදී පාඨමාලාවේ (පරිගණක පද්ධති හා ජාල විශේෂ උපාධිය) පාඨමාලා සම්බන්ධීකාරක ද වේ.
මේ අතර ජාත්‍යන්තර විදුලි හා ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු ආයතනයේ (IEEE) හා Women in Engineering (WIE) හි ශ්‍රී ලංකා අංශයේ සිය කාර්යභාරය තුළින් කාන්තාවන්ට ඉංජිනේරු ඇතුළු සමගාමී ක්ෂේත්‍රවලට පිවිසීමට ඇගෙන් හිමිවූ දායකත්වය සුළුපටු නැත.
ඇය IEEE ආයතනයේ ශ්‍රී ලංකා අංශයේ 2020 වසරේ ලේකම්වරිය වන අතර ඊට පෙර IEEE හි WIE ආයතනයේ ශ්‍රී ලංකා අංශයේ සභාපතිනිය ලෙස ද සේවය කළාය. 2019 වසරේ බීජිං නුවර පැවැති IEEE WIE ජාත්‍යන්තර නායකත්ව සමුළුවේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ආචාර්ය රන්කොත්ගේ 2019 මැයි වසරේදී ගෝලීය IEEE, WIE සාමාජිකයා ලෙස ද නම්කෙරිණි.
ආචාර්ය රන්කොත්ගේ තම දර්ශනවේදී (PhD.) උපාධිය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය ඔස්සේ 2017 වසරේදී ස්පාඤ්ඤයේ බාසිලෝනා හි Universitat Pompeu Fabra මගින් හිමිකරගත් අතර, ඇය තම විද්‍යාපති (MSc.) උපාධිය (පරිගණක විද්‍යාව- ජාලකරණ ඉංජිනේරු විශේෂ) 2012 වසරේදී මොරටුව විශ්ව විද්‍යාලයෙන්ද 2008 වසරේදී SLIIT උසස් අධ්‍යාපන ආයතනය වෙතින්ම තම ප්‍රථම උපාධිය වන පරිගණක පද්ධති හා ජාල (Computer Systems and Networks) පිළිබඳ තොරතුරු තාක්ෂණ විද්‍යාවේදී උපාධිය හිමිකරගෙන තිබීම ද විශේෂත්වයකි.
විවිධ ප්‍රකාශන හා ප්‍රකට විද්‍යා සඟරා හා සමුළු රැසකට තම බුද්ධිමය දායකත්වය ලබාදී ඇති ආචාර්ය රන්කොත්ගේ Cloud computing සහ Resource Management යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පර්යේෂණමය උනන්දුවක් දක්වයි.
“IEEE Women in Engineering (WIE) හි ශ්‍රී ලංකා අංශය, හරහා කාන්තා ඉංජිනේරුවරියන් හා විද්‍යාඥයින්යින් ප්‍රවර්ධනය කිරීමත් දිවයින පුරා ගැහැනු ළමයින් ඔවුන් අධ්‍යාපනය ලැබීමට කැමති කේෂේත්‍ර හරහා ඉංජිනේරු වෘත්තියක් සඳහා යොමු කර වීම සඳහාත් කැපවී සිටිනවා. IEEE WIE ශ්‍රී ලංකා අංශය කාන්තා ඉංජිනේරුවරියන් සහ විද්‍යාඥවරියන්, කාන්තා උපාධි අපේක්ෂකයින් සහ පාසල් සිසුවියන් ඉලක්ක කර ගනිමින් අධ්‍යයන හා කර්මාන්ත සහයෝගීතා වැඩසටහන් කිහිපයක් සංවිධානය කරනවා” යැයි ආචාර්ය වින්ද්‍යා රන්කොත්ගේ පැවසීය.
