ලොව ප්‍රමුඛතම සන්නිවේදන ඇප් මෘදුකාංගයක් වන වයිබර් සිය අලුත් ම තාක්ෂණික විශේෂාංගය ලෙස වයිබර් හරහා GIF නිර්මාණය කිරීමේ පහසුකම හඳුන්වාදුනි. ඒ අනුව වයිබර් භාවිතකරන්නන් හට තමන්ට කැමැති ආකාරයට GIF නිර්මාණය කරමින් සහ ඒවා මිතුරන් හා පවුලේ සාමාජිකයින් සමඟ හුවමාරු කරමින් විනෝද වීමේ අවස්ථාව දැන් උදා වී ඇත.
මේ වන විට ලොව පුරා වේගවත් කෙටි පණිවුඩ සේවාවන් කෙරෙහි විශාල ඉල්ලුමක් නිර්මාණය වෙමින් පවතින අතර, වයිබර් මෙම නව විශේෂාංගය හඳුන්වාදෙන්නේ ඉකුත් මාසයේදී හඳුන්වා දුන් Group Video Call විශේෂාංගයට අතිරේක වශයෙනි. ඊට අමතරව වයිබර් තම group chats සේවාව 250 දෙනෙකු දක්වා ද, group voice calls පහසුකම 20 දෙනෙකු දක්වා ද ප්‍රසාරණය කිරීමට පියවර ගෙන තිබේ. නවතම GIF නිර්මාණය කිරීමේ පහසුකම දැනට iOS දුරකථන සඳහා එළිදක්වා ඇති අතර, ඉදිරි සති කිහිපය තුළ මෙම පහසුකම ඇන්ඩ්‍රොයිඩ් දුරකථන වෙත ද හිමි වේ.
කෙටි පණිවුඩයක් හරහා කෙනෙකු පවසන දෙයක් සැබෑ ස්වරයෙන් ම ග්‍රහණය කරගත නොහැක. ඉමෝජී භාවිතයෙන් එම අභියෝගය යම් පමණකින් ජයගත හැකි නමුත්, එය ද සීමාවන්ට යටත් ය. මෙම පසුබිම යටතේ දැනටමත් වයිබර් සතු වෙනස් කළ හැකි ස්ටිකර් විශේෂාංගයට අමතරව, අලුතින් හඳුන්වා දෙන GIF විශේෂාංගය මගින් මෙම තත්ත්වය වෙනස් කරමින් කෙටි පණිවුඩ සන්නිවේදනය අන් කවරදාටත් වඩා පහසු සහ නිවැරදි සේවාවක් බවට පත් කරනු ඇත.
මෙම විශේෂාංගය හරහා ඕනෑම වයිබර් භාවිත කරන්නෙකුට ඇප් එකේ ඇතුළත් නව කැමරාව හෝ තම දුරකථන ගැලරියේ ඇති වීඩියෝවක් හෝ තෝරාගෙන එය වයිබර් GIF නිර්මාණයක් ලෙස වැඩිදියුණු කළ හැක. එහිදී boomerang, fast play, හෝ reverse ආකාරවලට GIF සැකසිය හැක.
වීඩියෝවක් GIF නිර්මාණයක් බවට පෙරළීමට අනුගමනය කළ යුත්තේ සරල පියවර කිහිපයකි.
- GIF මගින් නිරූපණය විය යුතු වීඩියෝවේ හොඳ ම කොටස වෙන් කරගන්න.
- GIF නිර්මාණය සඳහා සුදුසු පරිදි boomerang, endless looping, reverse mode, slow-play, සහ x2 හෝ x4 fast-play වැනි නිර්මාණ ආකෘති යොදාගන්න.
- GIF නිර්මාණය විවිධ අකුරු සහ වර්ණ රැගත් පාඨ වලින් ද, කුරුටු සහ ස්ටිකර් වලින් ද හැඩගන්වා ගන්න.
“විශේෂයෙන් ම මේ කාලයේදී වයිබර් භාවිත කරන්නන් කෙටි පණිවුඩ හරහා සන්නිවේදනයේ යෙදෙන නිසා විවිධ අයුරින් ඔවුන්ට තම හැඟීම් සහ අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාව උදා කරදීමට අපි කැප වී සිටිනවා. වචන වලට ආදේශකයක් ලෙස ඉමොජි ක්‍රියා කරද්දී, GIF හෝ ස්ටිකර් මගින් සමස්ත වාක්‍යයක් ම ප්‍රකාශ කළ හැකියි. ඒ වගේම අපි හඳුන්වා දෙන GIF නිර්මාණය කිරීමේ පහසුකමත් සමඟ වඩාත් නිවැරදිව සහ වැඩි විනෝදයකින් යුතුව එය සිදුකිරීමේ හැකියාව වයිබර් භාවිත කරන්නන්ට උදාවෙනවා” යනුවෙන් වයිබර් හි ප්‍රධාන විධායක නිලධාරී ඔෆිර් එයාල් මහතා පැවසීය.
