වයිබර් වෙතින් ඩිජිටල් ගෙවීම් පහසුකමක්

by admindasun
0 comment 58 views

ලොව ප්‍රමුඛතම සන්නිවේදන සේවා ඇප් මෘදුකාංගයක් වන වයිබර් තම දසවැනි සංවත්සරය සමරන මොහොතේදී තම Chatbot ගෙවීම් කටයුතු සඳහා fintech පහසුකම හඳුන්වා දීමට රකුටෙන් වයිබර් සමාගම පියවර ගෙන තිබේ.

ඒ අනුව මුල්වරට මෙම පහසුකම යුක්රේනයට හිමිවන අතර, ශ්‍රී ලංකාව ඇතුළු ආසියා ශාන්තිකර කලාපයේ සෙසු රටවලට එය 2021 වසරේදී ලැබීමට නියමිත ය. ඊට අදාළ නිශ්චිත දින වකවානු ඉදිරියේදී ප්‍රකාශ කෙරෙනු ඇත. මේ සමඟ භාණ්ඩ හා සේවා මිලදී ගැනීම් සඳහා මෙන්ම Google Pay ඇතුළු වෙනත් ජංගම දුරකථ ආශ්‍රිත ගෙවීම් ක්‍රම සඳහා වයිබර් භාවිත කළ හැක.

සන්නිවේදන හා සමාජ මාධ්‍යවල වර්ධනයත් සමඟ හුදෙක් emojis, gifs හා වීඩියෝ ඇමතුම්වලින් ඔබ්බට ගිය සේවා සහ විශේෂාංග පරිශීලකයින්ට අවශ්‍ය වී තිබේ. ඊට හොඳම නිදසුනක් වන්නේ නව පරපුරේ පරිශීලකයින් අතුරින් 64%ක්, 2017 වසරේදී පවා සන්නිවේදන ඇප් හරහා ගෙවීම් පහසුකම් සලසා දීමේ අවශ්‍යතාව පිළිබඳ අදහස් මතු කර තිබීමයි. එම ඉල්ලුම පසුගිය වසර කිහිපය තුළ තවදුරටත් වර්ධනය වූ අතර, ගෝලීය වසංගත තත්ත්වය හමුවේ එය තවත් ඉහළ ගොස් තිබේ.

මෙසේ පාරිභෝගික අවශ්‍යතා පිළිබඳ අවධානය යොමු කරන අතරේදී පරිශීලක පුද්ගලිකත්වය සුරක්ෂිත කිරීමේ තම විශිෂ්ට ලක්ෂණය කිසි ලෙසකින් හෝ අඩු කිරීමට වයිබර් පියවර ගෙන නොමැත. එනිසා fintech ඩිජිටල් ගෙවීම් පහසුකම හරහා ද සුපුරුද වයිබර් ආරක්ෂාව එලෙසින්ම පරිශීලකයින්ට හිමි වේ.

මේ හරහා වෙළෙඳ ආයතන සතු නිල chatbot හරහා අදාළ භාණ්ඩ හා සේවාවන් ආරක්ෂිතව හා ඍජුවම මිලදී ගැනීමේ අවස්ථාව වයිබර් පරිශීලකයින්ට උදා වේ. එහිදී පරිශීලකයාගේ බැංකුව හරහා අදාළ සේවාව ලබාගත හැකි නම්, තම ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත ජංගම දුරකථනයේ ගෙවීම් පහසුකම හා සම්බන්ධ කිරීමෙන් අනතුරුව වයිබර්හි ඕනෑම chatbot එකක් හරහා එය භාවිත කිරීමේ හැකියාව පවතී.

වෙළෙඳ ආයතන කළ යුතු වන්නේ මෙවැනි ගෙවීම් අයකරගත හැකි පහසුකමක් ලබාගෙන අනතුරුව වයිබර්හි chatbot එකක් නිර්මාණය කරගැනීම පමණි.

තව ද මේ හරහා ලබාගත හැකි වාසි ගණනාවකි. විශේෂයෙන්ම ජංගම දුරකථනයේ ස්පර්ශ කිරීම් කිහිපයකින් යම් මිලදීගැනීමක් කිරීමෙන් කාලය විශාල ලෙස ඉතිරි කරගත හැකි වේ. එමෙන්ම තම බිල්පත් ගෙවීම්, භාණ්ඩ ගෙන්වාගැනීම්, ප්‍රවාහන ආදි සියලු ගෙවීම් ඒ හරහා කළමනාකරණය කිරීමේ හැකියාව උදාවේ. ගෙවීම් කටයුතු සියල්ල රහස්‍යභාවය උපරිමයෙන් ආරක්ෂා වන ආකාරයට සිදුවේ. එනම් වයිබර් හෝ වෙනත් තෙවැනි පාර්ශ්වයකට ගනුදෙනු හා අදාළ තොරතුරු ලබාගත නොහැක. තවද සුළු, මධ්‍ය හා මහා පරිමාණ ව්‍යාපාර සියල්ලකට ම වයිබර් හරහා තම ගනුදෙනුකරුවන් හා සම්බන්ධ වී ගෙවීම් අයකරගත හැක. මෙහි තවත් වාසියක් වන්නේ ජංගම දුරකථන ගෙවීම් පහසුකම් ක්‍රියාත්මක ඕනෑම රටකට යම් භාණ්ඩයක් ක්ෂණිකව අලෙවි කරමින් තම ව්‍යාපාර වර්ධනය කරගැනීමේ හැකියාව යි.

මෙම විශේෂාංගය සියලු වයිබර් පරිශීලකයින්ට සමීප කරවීම සඳහා විශ්වාසනීය bot නිර්මාණකරුවන් හා ගෙවීම් පහසුකම් සපයන්නන් හා එක්ව කටයුතු කිරීමට රකුටෙන් වයිබර් සමාගම සැලසුම් කර තිබේ.

“හුදෙක් සන්නිවේදන කාර්යයන්ගෙන් ඔබ්බට වයිබර් ගෙනයාමටත්, එහි පරිශීලකයින් දැන්වීම් සඳහා පවතින ඉලක්ක නොව මිනිසුන් වශයෙන් සලකන ඉහළ තලයකට අපගේ සේවාවන් ඔසවා තැබීමටත් හැකිවීම ගැන අපි මහත් සේ සතුටු වෙනවා. වර්තමානයේදී පුද්ගලිකත්වය හා ආරක්ෂාව ඉතාම වැදත්. එම වැදගත්කම කෙටි පණිවුඩ යැවීමේදී  වගේම ගෙවීම් කටයුතු හා වෙනත් ඩිජිටල් සන්නිවේදන කටයුතුවලදීත් එලෙසින්ම පවතිනවා. මෙම විශේෂාංගය හරහා අපි උත්සාහ කරන්නේ වඩාත් ආරක්ෂිත විකල්ප ගෙවීම් පහසුකමක් ජනතාවට ලබාදීමටයි” යනුවෙන් රකුටෙන් වයිබර් ප්‍රධාන විධායක නිලධාරී ජාමෙල් අගවුඩා මහතා පැවසීය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment