සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය (MCC) සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව ඒ සදහා පත්කළ කමිටුව විසින් අද දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බාර දුන්නේය.
විද්වත් කණ්ඩායම්, ස්වේච්ඡා සංවිධාන, රජයේ ආයතන, පුද්ගලයන් ඇතුළු පාර්ශ්ව රැසක අදහස් හා යෝජනා විමර්ශනය කරමින් මාස 06ක කාලයක් තිස්සේ කළ අධ්‍යයනයකින් පසුව කමිටු වාර්තාව සම්පාදනය කෙරී ඇති බව ජනාධිපති කාර්යාලය නිවේදනය කළේය.
පසුගිය රජය 2017 සහ 2018 වසරවල MCC ගිවිසුමේ අදියර දෙකකට අත්සන් තබා ඇති බව එය භාරදෙමින් කමිටු සභාපති කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා පැවසීය.
ඒ යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 7.4ක් සහ මිලියන 2.6ක් ප්‍රදානය කර ඇතත් ඊට අදාළ ගිණුම් විස්තරයක් කිසිදු තැනක දක්නට නැතැයි ඔහු පැවසුවේය.
2019 දෙසැම්බර් මස 18 වැනි දින කැබිනට් මණ්ඩලය ගත් තීරණයකට අනුව ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සිව් පුද්ගල කමිටුව පත් කෙරිණි.
කමිටුවේ සභාපතිත්වය මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් විසින් හොබවනු ලැබූූ අතර ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය ඩී.එස්. ජයවීර, ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන සහ වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර මහත්වරු කමිටුවේ සෙසු සාමාජිකයෝ වූහ.
