ඔලිම්පික් යන ශ්‍රී ලංකා කණ්ඩායමට තරු පහේ පහසුකම්

by admindasun
0 comment 47 views

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගිම්හාන ඔලිම්පික් උළෙලට සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායම දිරිමත් කිරීම ජාතික වගකීමක් ලෙස සලකා ඔවුන්ට සහ අනුබද්ධ කාර්ය මණ්ඩලය වෙනුවෙන් සුඛෝපභෝගි පහසුකම් සමගින් නවාතැන් සපයන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.

ඒ අනුව ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සංවිධායකයන් නිර්දේශ කර ඇති සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වන කණ්ඩායම සඳහා ජපානයේ ටෝකියෝ නුවර තරු පහේ හෝටලයක සම්පූර්ණ මහලක සියලු පහසුකම්ද සමගින් නවාතැන් ලබාදීමට කටයුතු සූදානම් කර ඇත.

එළඹෙන ජූලි මස 23 වනදා ඇරඹීමට නියමිත 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා මලල ක්‍රීඩා, බැඩ්මින්ටන්, අශ්වාරෝහක, ජිම්නාස්ටික්, ජූඩෝ, වෙඩි තැබීම සහ පිහිනුම් යන ඉසව් වලින්  පිරිමි ක්‍රීඩකයන් 04 දෙනෙකුත් කාන්තා ක්‍රීඩිකාවන් 05 දෙනෙකුත් ලෙස ක්‍රීඩක ක්‍රීඩිකාවන්  09 දෙනෙකු සහ පුහුණුකරුවන් ද ඇතුළුව නිලධාරීන් 17 දෙනෙකු සහභාගී වීමට නියමිතව ඇත.

තවද මෙවර ක්‍රීඩා උළෙල නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09 දෙනාට  සුඛෝපභෝගි පහසුකම් සහිත ව්‍යාපාරික පන්තියේ (Business Class) ගුවන් ප්‍රවේශපත් ලබාදීමටද කටයුතු කරන බව රාජපක්ෂ අමාත්‍යවරයා පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment