එළවළු, පළතුරු මිලට නාමල් මැදිහත් වෙයි

by admindasun
0 comment 20 views

ඇතැම් වෙළඳුන් හිතුමනාපයට එළවළු හා පළතුරු මිල ඉහළ දැමීම නිසා පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතා මගහැරිය යුතු බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී රැස්වූ ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධන බලකාය තීන්දු කර ඇත.

ඒ අනුව මහජන අවධානය සෘජුව සන්නිවේදනය වන පරිදි ප්‍රධාන ප්‍රවෘත්ති විකාශනය අතරතුර ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානවල හා පෑලියගොඩ මැනිං වෙළඳපොළේ තොග හා සිල්ලර මිල විකාශනයට පියවර ගැනීමට මෙහි දී යෝජනා විය.

ඊට අමතරව සියලුම ජංගම අලෙවි රථවල සහ ජංගම අලෙවිසැල්වල එළවළු හා පලතුරු වර්ගය හා මිල වෙන් වෙන්ව සඳහන් කර මිල ප්‍රදර්ශනය කිරීම සඳහා උපදෙස් දීමටත් සමූපකාර හා සතොස අලෙවිසැල් මඟින් පාරිභෝගිකයන්ගේ ආර්ථික මට්ටමට ගැළපෙන පරිදි එළවළු මලු සකස්කර බෙදා හැරීමටත් තීරණය විය.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එහි දී මෙසේ ද පැවසීය.

කොවිඩ් තත්ත්වය සමඟ මේ දිනවල එළවළු සහ පලතුරු අධික මිල ගණන් යටතේ අලෙවි වනවා. කිසිකෙනෙකු නියාමනය කරන්නේ නැහැ. අත්තනෝමතික ලෙස මිල ගණන් ඉහළ යනවා.

පාරිභෝගිකයා අතට පත්වන එළවළු සහ පලතුරුවල මිල අසාමාන්‍ය ලෙස වැඩිවී තිබෙනවා. ගොවියාට සහ පාරිභෝගිකයාට යන දෙපිරිසටම සහන සැලසෙන පරිදි මේවායේ මිල ගණන් ඉහළ යාම පාලනය කරගැනීමට විකල්ප සෙවිය යුතුයි.

සෑම වසරකම යම් කිසි කාල සීමාවක් තුළ එළවළු පලතුරු කිහිපයක මිල නොවෙනස්ව වැඩිවනවා නම් ඒ සඳහා ගතහැකි දිගුකාලීන පියවරක් ලෙස වෙළඳපොළ ඉලක්ක කර ඒ සඳහා විකල්ප නිෂ්පාදන සකස් කොට ඒවායේ මිල ගණන් අඩු කිරිමට ක්‍රමවේදයක් සකස් කිරීම අවශ්‍යයයි.

ඉදිරි සති දෙකක කාලසීමාව ඇතුළත අධික මිල ගණන් යටතේ අලෙවි වන එළවළු සහ පලතුරුවල මිල පාලනය සඳහා ක්‍රමවේදයක් සකස් කරන්න යැයි අමාත්‍යවරයා අදාළ අංශ වෙත උපදෙස් දෙමින් කියා සිටියේය.

එළවළු, පලතුරු සඳහා වෙළඳ පොළ ඉල්ලුමක් තිබෙන සෑම නගරයකම පාහේ ගොවියාට තම නිෂ්පාදන විකුණාගත හැකි වන පරිදි  කුඩා වෙළඳ මධ්‍යස්ථාන (outlet) ඇති කිරිමට ද මෙහි දී යෝජනා විය.

අතරමැදියන් නොමැතිව ගොවියාට තම නිෂ්පාදන එහි දී අලෙවිකරගත හැකි අතර පාරිභෝගිකයන්ට ද නැවුම් එළවළු පලතුරු ලබාගත හැකි බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

මේ සඳහා ගත හැකි කෙටි කාලීන පියවරක් ලෙස මාධ්‍ය හරහා නිරන්තරයෙන් පවතින තොග මිල පිළිබඳ ජනතාව දැනුවත් කිරිමට යෝජනා විය.

මිල ගණන් සම්බන්ධයෙන් පැමිණිලි කිරිම සඳහා සමාජ මාධ්‍ය ජාලා තුළ අවස්ථාව ලබාදී දෛනිකව සඳහන් කරන මිල ගණන් ඉක්මවා අලෙවි කරන වෙළෙඳුන්ගේ බලපත්‍ර පිළිබඳව නිසි පියවර ගැනීම පාරිභෝගික අධිකාරියට පැවරීමට අමාත්‍යවරයා මෙහිදී උපදෙස් දුන්නේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment