වාහන ගෙන්වීමට එරෙහිව ජවිපෙ ශ්‍රේෂ්ඨාධිකරණයට

by admindasun
0 comment 18 views

මැති ඇමතිවරුන්ට සුඛෝපභෝගී වාහන 227ක් ඇතුළුව තවත් වාහන ප්‍රමාණයක් ආනයනය කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද දින ගොනු කළේය.

බස්නාහිර පළාත් සභාවේ හිටපු ජවිපෙ මන්ත්‍රී මහින්ද ජයසිංහ විසින් ගොනු කර ඇති මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා, මුදල් ඇමැති සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු අනෙකුත් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින්, ජනාධිපතිවරයා නියෝජනය කරමින් නීතිපතිවරයා, ලංකා බැංකුව, රේගු අධ්‍යක්ෂ ජෙනරාල් සහ ආනයන අපනයන පාලක ජනරාල් යන අය නම් කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සම මගින් පෙත්සම්කරු සඳහන් කර සිටින්නේ, 2020 වර්ෂයේ දී  ශ්‍රී ලංකාව නිදහසින් පසු දරුණුතම ආර්ථික අවපාතයට මුහුණ දී ඇති බවත්, 2020 වර්ෂයේ දී රාජ්‍ය ආදායම 27.7% කින් ද, ඒ තුළ බදු ආදායම 29.9% කින් ද පහත වැටී ඇති බවත්, අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 11.1% දක්වා ඉහළ ගොස් ඇති බවයි. තවද ශ්‍රී ලංකාව සතු විදේශ සංචිත විශාල ලෙස පහළ ගොස් ඇති බවත්, එම හේතුව නිසා 2020 වර්ෂයේ සිට රට තුළ ආනයන සඳහා විශාල වශයෙන් සීමා පනවා ඇති බවත්, පෙත්සමෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත. පෙත්සමේ වැඩිදුරටත් දක්වා ඇත්තේ, රට තුළ පැතිර යන කොවිඩ් වසංගතට ප්‍රතිකාර කිරීමට පවා පවතින සම්පත්වල හිඟයක් පවතින බවත් පසුගිය දිනක කොවිඩ් පාලනය පිළිබඳ පත්කර ඇති රාජ්‍ය ඇමතිනිය රෝහල්වල දැඩි සත්කාර ඒකක පහසුකම් වැඩි කිරීමට දානපතියන්ගේ සහයෝගය ඉල්ලා සිටි බවයි.

ඒ අනුව, පෙත්සම්කරු සඳහන් කර සීටින්නේ, එවැනි තත්ත්වයකට රට මුහණු දී සිටියදී මන්ත්‍රීවරුන්ට  සුඛෝපභෝගී වාහන ආනයනය කිරීමට රජය තීරණය කර ඇති බවයි.

පෙත්සමෙන් වැඩිදුරටත් දක්වා ඇත්තේ, ඊට අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ 2021/05/18 දින බවත්, ඊට පෙර 2021 අප්‍රේල් මාසයේදී පමණ එසේ වාහන ආනයනයට අදාළ ණයවර ලිපි ලංකා බැංකුව හරහා නිකුත් කිරීමට රහසිගතව සහ වංචනිකව කටයුතු කර ඇති බවයි.

ඇතිවූ මහජන විරෝධය හේතුවෙන් 2021/05/24 දින පැවැති කැබිනට් රැස්වීමක දී එසේ වාහන ආනයනය අත්හිටවූ බවට රජය ප්‍රකාශ කර සිටිය ද, දැනටමත් ණයවර ලිපි නිකුත් කර ඇති නිසා මන්ත්‍රීවරුන් සඳහා සුඛෝපභෝගී වාහන ආනයනය ආපසු හැරවිය නොහැකි තත්ත්වයට පත්ව ඇති බව පෙත්සමේ වැඩිදුරටත් දක්වා ඇත.

ඒ අනුව, රට මෙවැනි අසීරු තත්ත්වයට සහ ජනතාව ඉතා අපහසුතාවයට පත්ව ඇති අවස්ථාවක මෙසේ මන්ත්‍රීවරුන් සඳහා වාහන ආනයනයට තීරණය කිරීම බලය අවභාවිතා කිරීමක් බව පෙත්සමේ දක්වා ඇත. ඒ අනුව පෙත්සම්කරු දක්වා සිටින්නේ, රජය සිය බලය ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් භාරයක් ලෙස දරණ බවත්, තමන්ගේ පුද්ගලික සහ දේශපාලන වාසිය සඳහා එම බලය අවභාවිතා කර මහජන භාරය යන සංකල්පයට පටහැනිව කටයුතු කර ඇති බවයි.

වාහන ගෙන්වීමට අනුමැතිය ඉල්ලා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයේ දක්වා ඇති ආකාරයට මන්ත්‍රීවරුන් විසින් මුදල් ගෙවීම මත වාහන ආනයනයට රජයේ අවධානය යොමුව ඇති බව දක්වා ඇති අතර, ගෙන්වනු ලබන වාහන සඳහා සියලු තීරු බදු ඉවත් කිරීමට අනුමැතිය ඉල්ලා ඇත. ඒ අනුව, එලෙස මන්ත්‍රීවරුන් සඳහා වාහන ආනයනය අනෙකුත් පුරවැසියන්ට වෙනස් කොට සැළකීමක් බවත්, නීතියේ රැකවරණය සර්ව සාධාරණ විය යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වගන්තියේ දක්වා ඇති මූලික අයිතිවාසිකම්වලට පටහැනි බවත් පෙත්සමෙන් දක්වා ඇත.

තවද, ආනයන අපනයන පාලක පනත යටතේ පනවා ඇති ආනයන අපනයන පාලක රෙගුලාසි මගින් වාහන ආනයනය තහනම් කොට පැවතිය දී, ලංකා බැංකුව විසින් එලෙස වාහන ආනයනයට ණයවර ලිපි නිකුත් කිරීම නීති විරෝධී වන බව ද පෙත්සමේ වැඩිදුරටත් කියා සිටී. තවද, ජනතාවගෙන් වසන් කර කැබිනට් අනුමැතියට බොහෝ කාලයකට පෙර එලෙස ණයවර ලිපි නිකුත් කර ඇත්තේ වංචා සහගතව සහ යටි අරමුණකින් බවත්, එසේ කර ඇත්තේ කැබිනට් මණ්ඩලයට පවා එම වාහන ආනයනය කිරීම නැවත සළකා බැලීමට හෝ අත්හිටුවීමට ප්‍රායෝගිකව නොහැකි වන ලෙසට බව පෙත්සමෙන් දක්වා ඇත.

ඒ අනුව, එලෙස පාර්ලිමේන්තු මන්ත්රීලවරුන් සඳහා සුඛෝපභෝගී වාහන ආනයන කිරීමට ගෙන ඇති පියවරයන් අසාධාරණ, අතාර්කික, නීතිවිරෝධී සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්මවලට පටහැනි බවත්, එමගින් පෙත්සම්කරු ඇතුළු සියලු පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම මගින් දක්වා ඇත.

ඒ අනුව, එලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන ආනයනය නීති විරෝධී බවට සහ ණයවර ලිපි නිකුත් කිරීම නීතිවිරෝධී බවට ප්‍රකාශ කරන ලෙස පෙත්සමෙන් අයද ඇති අතර, යම් හෙයකින් වාහන ආනයනය කරනු ලැබුවහොත්, ඊට අදාළ සියලු තීරු බදු සහ අනෙකුත් බදු අයකරන ලෙසත්, එම වාහන ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා මහජන මුදලින් දරණ ලද සියලු වියදම් සහ රාජ්‍ය ආදායම් අහිමි වීම් රජයට අය කර ගැනීමට කටයුතු කරන ලෙසත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඇති අවස්ථාගත කරුණු අනුව යුක්ති සහගත යයි හා සාධාරණ යයි ශ්‍රේෂ්ඨාධිකරණය සලකන සහන ප්‍රදානය කිරීමේ අධිකරණ බලය මත සුදුසු වෙනත් නියෝගයන් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් අයැද ඇත. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ සුනිල් වටගල මහතාගේ උපදෙස් මත නීතිඥ චාමර නානායක්කාරවසම් නඩුවට පෙනී සිටියි.

 

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment