සුදුවැලිපොත කැළේ හෙක්. 20ක් යළි වවයි

by admindasun
0 comment 17 views

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රජා සත්කාර අංශය වන ජෝන් කීල්ස් පදනම, රාජ්‍ය නොවන පරිසර සංවිධානයක් වන ‘රුක් රැකගන්නෝ’ සමග වසරක 3 ක විශේෂ හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තැබී ය. මෙම හවුල්කාරීත්වය යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සුදුවැලිපොත ප්‍රදේශයේ හෙක්ටයාර 20 ක භූමි ප්‍රදේශයක වනාන්තර නැවත වගාකිරීම සිදුකෙරේ. මෙම ව්‍යාපෘතිය ජෝන් කීල්ස් පදනමේ අවධානය යොමුවන ප්‍රධාන අංශ අතරින් ‘පරිසරය’ යටතට අයත් වන අතර, එහිදී පරිසරයට සිදුවන බලපෑම් අවම කරමින්, පරිසර සංරක්ෂණය හා තිරසාරත්වය ප්‍රවර්ධනය කිරීම සිදුකෙරේ.

මෙම ව්‍යාපෘතිය තුළදී, තෙත් කලාපයට ආවේණික ශාක යොදාගෙන අදාළ භූමි ප්‍රදේශයේ වනාන්තර ප්‍රතිස්ථාපනය කිරීමට සැලසුම් කර ඇත. ඒ නිසා මෙය ස්වභාවික පරිසර විද්‍යාගාරයක් බවට පත්වනු ඇති අතර එමගින් අදාළ පරිසරය හා ශාක සම්බන්ධ දැනුම ප්‍රවර්ධනය කිරීම වඩාත් පහසු වේ. හෙක්ටයාර 20 ක් පුරා මේ ආකාරයට වනාන්තරය ප්‍රතිස්ථාපිත වීමෙන් අනතුරුව එය මීට ආසන්නයේ පිහිටි තෙත් කලාපීය ස්වාභාවික වැසි වනාන්තරයක් වන සිංහරාජ වනාන්තරයට සමාන වනු ඇත. ශ්‍රී ලංකාවේ පහතරට පිහිටි විශාලතම වැසි වනාන්තරය මෙන්ම ජෛව විවිධත්වයේ තෝතැන්නක් වන සිංහරාජය යුනෙස්කෝ සංවිධානය මගින් ලෝක උරුමයක් ලෙසද ප්‍රකාශයට පත් කර ඇත.

ජෝන් කීල්ස් පදනමේ මූල්‍යමය දායකත්වය යටතේ ‘රුක් රැකගන්නෝ’ විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතියය තුළදී, 2021 න් ආරම්භ වන පළමු වසර ඇතුළත අදාළ භූමි ප්‍රදේශය තුළ අවම වශයෙන් ගස් 13,000 ක් සිටුවීමට සැලසුම් කර තිබේ. ඉන් අනතුරුව, හඳුනාගත් වන බිම් ප්‍රතිස්ථාපනය කර, වන ආවරණය සහ වනාන්තර වල ඵලදායීතාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් රුක් රැකගන්නෝ සංවිධානය හා වන සංරක්ෂක ජෙනරාල් අතර ඇති කරගන්නා ලද එකඟතාව අනුව එම ගස් ඉදිරි වසර 3 ක කාලය තුළ රැකබලාගනු ලබනු ඇත. ක්ෂේත්‍ර උපකරණ හා පැළ මිලදී ගැනීම සහ අදාළ භූමිය වගාව සඳහා සකස් කිරීම ආරම්භ කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් විසින් අදාළ භූමි ප්‍රදේශය සම්බන්ධ මූලික පාරිසරික තක්සේරුවක් දැනටමත් සිදු කර තිබේ. රුක් රැකගන්නෝ සංවිධානයේ නියෝජිතයන් පිරිසක් සහ Cinnamon Nature Trails හි ජීව විද්‍යාඥයෙකු වන විමුක්ති වීරතුංග මහතා එක්ව අදාළ ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාරිකාවක යෙදුණු අතර එහිදී අදාළ උපකරණ හා පැළ මිලදීගැනීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් සමග සාකච්ඡා කර, තවාන් වලින් මිලදීගත හැකි පැළ වර්ග හඳුනා ගන්නා ලදි.

මෙම වැඩසටහන, 2021 ලෝක පරිසර දිනයේ තේමාව වන ‘පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය’ යන්නට සමගාමී වැඩසටහනකි. පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය යන්නෙන්, දැනටමත් හානි වී හෝ විනාශ වී ඇති පරිසර පද්ධති යථා තත්ත්වයට පත්කිරීම මෙන්ම තවමත් නොනැසී පවතින පරිසර පද්ධති ආරක්ෂා කරගැනීම අදහස් වේ. සරුසාර ජෛව විවිධත්වයක් සහිත යහපත් පරිසර පද්ධති මගින් පස සාරවත් වීම, වඩාත් විශාල දැව හා මත්ස්‍ය අස්වනු ලැබීම සහ වැඩි වැඩියෙන් හරිතාගාර වායු රඳවා ගැනීම වැනි ප්‍රතිලාභ රාශියක් හිමි වේ.

“මේ වැදගත් පාරිසරික ප්‍රතිසංස්කරණ වැඩසටහන වෙනුවෙන් රුක් රැකගන්නෝ සංවිධානය සමග හවුල්කාරීත්වයක් ඇතිකර ගැනීමට ලැබීම අපට සතුටක්. සිංහරාජ වනාන්තරය අවට වැදගත් පරිසර පද්ධති රැකගැනීම යන මූලික අරමුණට පෙරදැරිව, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ජෝන් කීල්ස් සමූහයේ කාර්ය මණ්ඩලයේ ස්වේච්ඡා සේවකයන් සහ අදාළ ප්‍රදේශයේ ජනතාව සක්‍රීයව සම්බන්ධ කරගැනීමට අප බලාපොරොත්තු වෙනවා.” ජෝන් කීල්ස් පදනමේ මෙහෙයුම් ප්‍රධානී කාමලීන් ජයසූරිය මහත්මිය පැවසුවා ය.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට පෙර සිටම Cinnamon Hotels and Resorts සහ, Tea Smallholder Factories PLC වැනි ජෝන් කීල්ස් සමූහයට අයත් ව්‍යාපාර මෙන්ම​ Carbon Consulting Company (Pvt) Ltd සහ Neptune Recyclers (Pvt) Ltd. වැනි බාහිර සංවිධාන කිහිපයක් සමග එක්වී, පරිසරය රැකගැනීමට හා වැඩිදියුණු කිරීමට සමූහය දරන උත්සාහයට දායක වීමක් ලෙස, ජෛව විවිධත්ව සංරක්ෂණය, වනජීවී සංරක්ෂණය, කඩදාසි ප්‍රතිචක්‍රීකරණය සහ සංරක්ෂණය සහ වන ප්‍රතිස්ථාපනය වැනි විවිධ අංශ වලට අයත් ව්‍යාපෘති රාශියක් ක්‍රියාවට නැංවීමට ජෝන් කීල්ස් පදනම කටයුතු කර ඇත.

“ජෛවගෝල රක්ෂිතයක් හා ලෝක උරුමයක් වන සිංහරාජ වැසි වනාන්තරය ආසන්නයේ සිදුකරන මෙම වනාන්තර ප්‍රතිස්ථාපන ව්‍යාපෘතිය වෙනුවෙන් ජෝන් කීල්ස් පදනම සමග අත්වැල් බැඳගැනීමට ලැබීම අපට සතුටක්. වන රක්ෂිතයේ හමුවන ආවේණික හා දේශීය ශාක විශේෂ යොදාගෙන අපි මෙම ප්‍රදේශයේ නැවත වන වගාව සිදුකරන නිසා එය, වඳවීමේ තර්ජනයට ලක්වී ඇති ශාක විශේෂ ආරක්ෂා කරගැනීමේ පියවරක් බවත් පත් වේවි. මීට පෙර රුක් රැකගන්නෝ සංවිධානය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, ජනාධිපති අරමුදල, ෆෝඩ් පදනම සහ ජාතික මූලික අධ්‍යයන ආයතනය වැනි පාර්ශ්වයන් සමග එක්ව කටයුතු කර තිබෙනවා. ජෝන් කීල්ස් සමූහය විසින් මේ පාරිසරික ප්‍රතිස්ථාපන වැඩසටහනේ හවුල්කරුවෙකු ලෙස අප තෝරාගැනීම අපට ගෞරවයක්.” රුක් රැකගන්නෝ සංවිධානයේ සභාපති දුෂී පෙරේරා මහතා පැවසී ය.

පරිසරය යනු ජෝන් කීල්ස් පදනමේ (ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රජා සත්කාර අංශය) මූලික අවධානය යොමු වී ඇති අංශ හය අතරින් එක් අංශයකි. කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත වී ඇති සමාගම් අතරින් විශාලතම සමාගම වන, වසර 150 කට අධික ඉතිහාසයක් ඇති ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධව ක්ෂේත‍්‍ර 7 ක් ආවරණය කරන සමාගම් 70 කට අධික සංඛ්‍යාවක් ක‍්‍රියාත්මක වේ. LMD සඟරාව මගින් අඛණ්ඩව වසර 15 ක් තිස්සේ මෙරට වඩාත්ම ගෞරවය දිනූ සමාගම ලෙස නම්කර ඇති ජෝන් කීල්ස් හෝල්ඩින්ස් හි සේවය කරන සංඛ්‍යාව 14,000 කට අධික ය. World Economic Forum හි පූර්ණ සාමාජිකයෙකු සහ UN Global Compact හි හවුල්කරුවෙකු වන එම සමාගම ‘අනාගතය වෙනුවෙන් රට සවිබල ගැන්වීම’ යන දැක්ම පෙරදැරිව තම සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන ‘Plasticcycle’ ඔස්සේ ප්ලාස්ටික් නිසා රට තුළ ඇතිවන පරිසර දූෂණය අවම කිරීම සඳහා කටයුතු කරමින් සිටී.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment