ටයිටැනික් ජීවිත

by admindasun
0 comment 16 views

සමන් කළුආරච්චි විසිනි

“චීන පෝසිලේන් තේ පෝච්චියක් සූර්ය ග්‍රහ මණ්ඩලයේ අනෙක් ග්‍රහලෝක වගේම හිරු වටා ඉලිප්සාකාර ගමනක යනවා”

“කොහෙත්ම වෙන්න බැහැ”

“ඇයි නැහැ කියන්නේ … එහෙම තේ පෝච්චියක් පෘථිවියත්, අඟහරු ග්‍රහයාත් අතර අභ්‍යවකාශයේ ඇත්තටම සැරිසරනවා”

“වෙන්න බැහැනේ…ඒක ඇත්ත නම් අපිට පහසුවෙන්ම පුළුවන්නේ දුරේක්ෂයකින් බලලා ඒක ඇත්තද කියලා දැනගන්න”

“තේ පෝච්චියක් කියන්නේ පුංචි දෙයක්නේ. ඉතින් අද තියෙන බලගතුම දුරේක්ෂයටවත් ඒක අහුවෙන්නේ නැහැ. ඒත් තේ පෝච්චිය මේ දැනුත් අභ්‍යවකාශයේ සැරිසරනවා”

“ඇත්තටම….? ඒත් විශ්වාස කරන්න බැහැ ඒක”

“ඇයි බැරි…? ඉන්න කියලා දෙන්නම්”

XXX

යුරෝපයේ එක්තරා ගම්මානයක යුදෙව් ජාතික මිනිහෙක් පොඩි සිල්ලර කඩයක් කරගෙන ගියා. මේ ගම්මානයේ හිටියා යුදෙව්වන්ට කැමැති නැති කොල්ලෝ කණ්ඩායමක්. එක්තරා විදියට ආගම්වාදය – ජාතිවාදය ඔළුවට ගහපු කණ්ඩායමක්. (අර ඡන්දෙට කලින් අපේ රටේ හිටිය ඒත් දැන් ආගිය අතක් නැති  “සිංහ-ලේ” “බොදු බලේ” “මහසෝන් බලකාය” වගේ කණ්ඩායමක්)

මේ කොලු ‘ගැන්සිය’ බයිසිකල්වල නැගිලා හවසට හැමදාම ගම වටේ රෝන්දෙ ගහනවා. මේ පිරිස යුදෙව් ජාතිකයාගේ කඩය ඉස්සරහින් යද්දී “යුදෙව් බල්ලා… යුදෙව් බල්ලා” කියලා අපහාසයෙන් කෑගහන්න පුරුදු වෙලා හිටියා. මේ ජාතිවාදී කොලු කණ්ඩායමෙන් තමන්ගේ දරු පවුලට හානියක් වෙයිද කියලා බයෙන් තමයි යුදෙව්වා හැම තිස්සේම හිටියේ. මේ වගේ කණ්ඩායම්වලට කියලා යමක් පැහැදිලි කරන්නත් බැහැනේ… ඉතින් යුදෙව් ජාතිකයා දහ අතේ කල්පනා කළා මේ අනතුරින් බේරෙන්නේ කොහොමද කියලා. අන්තිමට ඔහුට ආවා අදහසක්.

ඉතින් පහුවෙනිදා අර කොල්ලෝ කණ්ඩායම “යුදෙව් බල්ලා” කියාගෙන කෑ ගහද්දිම හිනාවේගෙන ඉස්සරහට ආපු යුදෙව් ජාතිකයා අර කෑ ගහන කොල්ලෝ හැමෝටම කාසිය ගානේ දුන්නා. අපි හිතමුකෝ ලංකාවේ සල්ලිවලින් රුපියලක් වගේ කියලා. කොල්ලෝ පුදුම වුණා. ඒත් නිකම් ලැබෙන මේ මුදල හැමෝම සතුටින් වගේම පුදුමයෙන් භාර ගත්තා. මෙහෙම දවස් දෙකක්ම සිද්ධ වුණා. තුන් වැනි දවසේ මේ රුපියල සත පනහට බැස්සා.

ඒත් ඉතින් කමක් නැහැනේ. “යුදෙව් බල්ලා” කියලා කෑගහන්න වැඩ මහන්සියක් යන්නේ නැහැනේ. සත පනහ පාඩු නැහැ. කොල්ලන්ට හිතුණා. යුදෙව් ජාතිකයාත් සතුටින් මුදල් බෙදුවා.

දවස් දෙකකට පස්සේ යුදෙව් ජාතිකයා මේ ගාන සත විසි පහට බැස්සුවා. කොල්ලෝ ටික තමන්ගේ අමනාපය පෙනෙන්නට සැලැස්සුවත්, මේ මුදල අරගෙන හරි තමන්ට ඒ විදියට කෑ ගහන්න කියලා යුදෙව් ජාතිකයා කොල්ලන්ගෙන් බැගෑපත්ව ඉල්ලුවා. සත විසි පහේ මුදලට කොල්ලො ටික ඒ දේ කළත් ඒ තරම් ජවයකින් නෙමෙයි කළේ. මොකද කලින් රුපියලක් ලැබිලා, දැන් සත විසිපහකට ඒක අඩුවීම ඒ තරම් ලාභදායී දෙයක් නෙමෙයිනේ. ජවයක් නැති වුණත් එයින් පවා තමන් කොයි තරම් සතුටට පත්වෙනවා ද කියන එක  යුදෙව් ජාතිකයා එළිපිටම පෙන්නුම් කළා.

තවත් දවස් දෙකකට පස්සේ යුදෙව්වා ඒ මුදල සත පහට බැස්සුවා. මෙතැනදී නම් කොල්ලන්ට හොඳටම තරහ ගියා. එත් යුදෙව් ජාතිකයා පින්සෙන්ඩු වෙලා කිව්වා ඊට වඩා මුදලක් දෙන්න තරම් වත්කමක් තමන්ට නැහැ කියලා. තරහ ගිය කොල්ලෝ ටික “සත පහකට කෑ ගහන්න අපිට බැහැ” කියලා සද්දයකුත් දාගෙන යන්න ගියා. එයින් පස්සේ ආයෙ කවදාවත් ඒ කොල්ලො ටික යුදෙව් ජාතිකයාගේ කඩය ඉස්සරහින් යද්දී කෑහුවේ නැහැ. සත පහකට කෑ ගහලා මොන ලාභයක්ද? ඉතින් ඊට පස්සේ කොල්ලෝ කාණ්ඩය යුදෙව්වාව ගණන් ගත්තෙවත් නැහැ. යුදෙව් ජාතිකයාත් හිතේ සහනයෙන් කිසිම කරදයක් නැතිව තමන්ගේ වෙළෙඳ සැල කරගෙන ගියා.

කතාව ඉවරයි කියලා හිතුවාට ඉවර නැහැ.

XXX

බොහොම තරබාරු පුද්ගලයෙක් කන්දක් මුදුනේ ඒ කන්දේ අද්දරටම වෙන්න හිටගෙන ඉන්නවා. ඔබත් ඉන්නේ කන්ද මුදුනේ… අර තරබාරු මිනිසාට පිටිපස්සෙන්.

මේ කන්ද පාමුල තියෙනවා රේල් පාරක්. මේ රේල් පාරේ පුංචි ළමයින් පස් දෙනෙක් සෙල්ලම් කර කර ඉන්න හැටි ඔබට පේනවා.

ඒ එක්කම ඔබට පේනවා ගල් පුරවා ගත්ත ට්‍රොලියක් තිරිංග නැතිව මේ රේල් පාරේ වේගයෙන් ඇදී එන හැටි. මේ ට්‍රොලිය දරුවන් යටකරගෙන යන්න විනාඩියක්වත් කාලයක් ගතවෙන්නේ නැති බව පැහැදිලියි.

සෙල්ලමට තදින්ම හිත ගිහින් හිටිය දරුවන්ට තමන්ට සිද්ධ වෙන්න යන මේ මාරක අනතුර ගැන කිසිම හැගීමක් නැහැ.

ඔබ කෑගැහුවත් ට්‍රොලියේ සද්දය නිසා එයාලට ඇහෙන්නේ නැහැ. මේ දරුවන් පස් දෙනාගේ ජීවිත බේරා ගන්න එකම ක්‍රමයයි තියෙන්නේ…. අර තරබාරු මනුස්සයාව කන්ද මුදුනින් පහළට තල්ලු කරන එක. එතකොට ට්‍රොලිය හිරවෙලා දරුවන් පස් දෙනාගේ ජීවිත රැකෙන බව විශ්වාසයි. ඒත් තරබාරු පුද්ගලයාගේ ජීවිතය එතැනින්ම ඉවරයි. එක් පුද්ගලයෙක්ගේ ජීවිතය අනතුරට ලක් කරලා දරුවන් පස් දෙනෙකුගේ ජීවිතය බේරා ගන්නට ඔබ සූදානම්ද? ප්‍රශ්නය අහන්නේ ඔබෙන්.

ඔය කිව්ව කරුණු තුන අවස්ථා තුනකට සම්බන්ධ කාරණා තුනක්. ඒත් මිනිස්සුන්ගේ සමාජ ජීවිත විවරණය කරන ප්‍රබල තැන් තුනක්. දැන් අපි බලමු මේ කරුණු කාරණා නිරාකරණය කරගන්න. (මේ කරුණු කාරණා මට ඉගෙන ගන්න ලැබුණේ පහුගිය අවුරුද්දේ වෙස්ලියන් සරසවිය ක්‍රියාත්මක කළ සමාජ මනෝවිද්‍යා (Social Psychology) අධ්‍යයන පාඨමාලාවකට සම්බන්ධ වීමෙන් බවත් ස්තුති පූර්වකව සඳහන් කරන්නට ඕනේ).

අභ්‍යවකාශයේ චීන තේ පෝච්චියක් සැරිසරනවා කියන කාරණාව විහිළුවක් වගේ පෙනුනත් ඒක කිව්වේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. ලෝකයේ බිහිවෙච්ච අතිශය බුද්ධිමත් මිනිසුන් අතරින් කෙනෙකු වෙච්ච ඒ වගේම නොබෙල් ත්‍යාගයෙන් පවා පිදුම් ලැබූ බ්‍රිතාන්‍ය ජාතික බර්ට්‍රන්ඩ් රසල් (Bertrand Russell). ඔහු දාර්ශනිකයෙක්, ගණිතඥයෙක්, විප්ලවීය සංකල්ප ගණනාවක් ලොවට දායද කළ විශිෂ්ට අධ්‍යාපනඥයෙක්. ඔහුගේ පොත් පත් සහ සංකල්ප ලෝකය පුරාම සරසවිවල එදා සිට අද දක්වාම දිනපතා භාවිතයට ගැනෙනවා. රසල් අතින් ලියැවුණු පොත්පත් සංඛ්‍යාව අති විශාලයි. ඒ හැම පොතක්ම වගේ විවිධ භාෂාවන්ට පරිවර්තනය වෙමින් අද දවසේ පවා යළි යළිත් මුද්‍රණය වෙනවා. දෙවියන් වහන්සේ කියලා කෙනෙක් ඉන්න බව රසල් කොහෙත්ම පිළිගත්තේ නැහැ. තමන්ගේ මතය තහවුරු කරමින් ඔහු ප්‍රසිද්ධ දේශන පැවත්වුවා විතරක් නෙමෙයි “Why I Am Not a Christian” කියලා අතිශය සුප්‍රකට පොතක් පවා ප්‍රකාශයට පත් කළා. 1927 දී මුලින්ම ප්‍රකාශයට පත්කළ මේ පොතේ පිටපත් මිලියන ගණනින් අලෙවි වුණා; තාමත් වෙළෙද පොලේ විකිණෙනවා. ඉතින් කලින් කිව්ව චීන තේ පෝච්චියේ කතාව රසල් කිව්වේ සර්ව බලධාරී දෙවියන් කියලා කෙනෙක් නැහැ කියන කාරණාව පදනම් කරගත්ත දාර්ශනික සංකල්පයක් විදියට. සරසවිවල අධ්‍යයනවලටත්, සමාජ පර්යේෂණවලටත් බහුලව භාවිත කරන මේ සංකල්පය ප්‍රසිද්ධ වුණේ “රසල්ගේ තේ පෝච්චිය” (Russell’s teapot) කියන සුප්‍රකට නාමයෙන්.

චීන තේ පෝච්චියක් අභ්‍යවකාශයේ සැරිසරනවා කියන එක කවුරුවත් පිළිගනීවී කියලා හිතන්න තරම් රසල් මෝඩයෙක් නෙමෙයිනේ. ඒත් තමන් ඒ කියන කාරණාව ඔප්පු කරන්න බැරි නිසා පමණක්ම මෙහෙම තේ පෝච්චියක් නැහැ කියලා කියන්න කාටවත් බැහැ කියන එක තමයි රසල්ගේ දාර්ශනික සංකල්පය කාටත් තේරෙන විදියට අතිශයින්ම සරල කළාම ලැබෙන තේරුම. ඒත් ඉතින් අපිට තියෙන සාමාන්‍ය දැනුම, අපි හිතන පතන විදිය එහෙමත් නැතිනම් අපි ඉගෙන ගෙන තියෙන දේවල් එක්ක බැලුවම මෙහෙම තේ පෝච්චියක් අභ්‍යවකාශයේ සැරිසරනවා කියලා අපිට කොහෙත්ම හිතන්න බැහැනේ. ඒත් මෙහෙම දෙයක් බයිබලයේ සටහන් වුණා නම්, හැම ඉරිදාම පල්ලියේ පූජකවරයා මෙහෙම තේ පෝච්චියක් ගැන කතා කළා නම්, දරුවන්ට නිතිපතා උගන්වන ආගමික පොත්පත්වල පාඩමක් විදියට ලියැවුණා නම් විද්‍යාව කොයි තරම් දියුණු වුණත් මේ තේ පෝච්චියේ කතාව වෙනස් වෙනවා නේද කියලා රසල් ඇහුවා. දෙවියන් වහන්සේගේ පැවැත්ම, මිනිසා මැවීම ගැන බරපතළ විවේචනයක් විදියට තේ පෝච්චි සංකල්පය ගෙනහැර පෑවත් ඊට වඩා පුළුල් දාර්ශනික අර්ථයකින් ඔහු මේ සංකල්පය විග්‍රහ කළා. පාදඩ පාලකයන් පිරිසකට නුගත් සමාජයක් කොයි තරම් මිත්‍යාවකට ගෙනි යන්න පුළුවන්ද කියන කාරණාව විග්‍රහ කරන්නත් රසල්ගේ තේ පෝච්චි සංකල්පය පාවිච්චි කරන්න පුළුවන්. හරියට අර කැලණිය පන්සලට නයා ආවා වගේ.

යුදෙව් ජාතික වෙළෙන්දාගේ කතාව සුප්‍රකට යුදෙව් ජන කතාවක්. ජනකතාව නම් කියලා ඉවර තමයි. ඒත් කතාව ඉවර නැහැ කියලා කලින් කිව්වේ හේතුවක් ඇතිව. මොකද සැබෑ කතාව දිග හැරෙන්නේ ඔය කිව්ව ජනකතාව සමාජ විද්‍යාත්මක අරුතින් එහෙමත් නැතිනම් මනෝ විද්‍යාත්මක අර්ථයෙන් තේරුම් ගත්තාට පස්සේ නිසා. එහෙම තේරුම් ගත්තොත් ඔබ වටේ සිද්ධ වෙන බොහොම දේවල් ඉතා පරිස්සමින් වටහා ගන්නට ඔබටම පුළුවන් වේවි. ඔය කිව්ව කොල්ලන් කණ්ඩායමට මුලින්ම තිබුණේ යුදෙව් ජාතිකයා ගැන වෛරයක්. ජාතිවාදී ආගම්වාදී විරෝධයක්. යුදෙව් ජාතිකයා අනුගමනය කළේ ඉතාම සියුම් මනෝ විද්‍යාත්මක විධික්‍රමයක්. ඒ තමයි අර තරුණ කණ්ඩායම අතර තිබුණු ජාතිවාදී ආකල්පය එහෙමත් නැතිනම් එයාලගේ අභිප්‍රේරණය (motivation) මූල්‍යමය ප්‍රතිලාභයක් ලබා ගැනීම (monetary reward) කියන කාරණාවට පරිවර්තනය කරපු එක. තමන්ට ‘යුදෙව් බල්ලා’ කියලා කතා කරන එක සතුටක් බව පෙන්නුම් කරන්න තමයි අර විදියට සල්ලි බෙදුවේ. ඉතින් ඔය විදියට කොල්ලන් අතර තිබුණු මූලික අරමුණ නන්නත්තාර කරලා දැම්මට පස්සේ තමයි යුදෙව්වා තමන්ගේ මූල්‍යමය බංකොලොත්භාවය ප්‍රසිද්ධ කළේ. මේ වෙද්දී කොල්ලන්ට තමන්ගේ මුල් අරමුණු සහමුලින්ම අමතක වෙලා ඉවරයි. අන්තිමේදී කොල්ලන් කණ්ඩායම අපහාස කරන එක නැවැත්තුවේ සත පහකට දහයකට යුදෙව්වා “සතුටු කිරීම” ලාබයක් නැති වැඩක් කියලා හිතලයි. කොටින්ම කිව්වොත් කොල්ලන්ට හිතුණේ තමන් මේ විදියට අපහාස කරන එක නතර කළ නිසා දැන් යුදෙව්වාට සෑහෙන්න හිතට අමාරු ඇති කියලයි. මුලින් යුදෙව්වාට අපහාස කරන්න කෑගැහුව කොල්ලෝ ටික අන්තිමේදී අපහාසය නැවැත්තුවේ යුදෙව්වාට රිදවන්න හිතාගෙනයි.

ඔබට හිතේවි කොයි තරම් මෝඩ කොල්ලන් රැලක්ද කියලා. ඔව්… හැබැයි අපිත් ඉන්නේ එතැනම තමයි. සරලව මෙහෙම හිතමු. රටක ඡන්දයක් අත ළගම. දැන් ඉතින් ජාතිප්‍රේමය, දේශප්‍රේමයත් හැම තැනම. කොටි නැගිටින්න ඔන්න මෙන්න. රටේ නායකයා දරුවො වඩා ගන්නවා. නායකයාගේ දරුවෝ පැල්පත්වලට ගිහින් ප්ලේන්ටි බොනවා. ඔය එක්කම තමයි වඳ කොත්තුත් විකිණෙන්නේ. කැලණිය පන්සලේ මහාචාර්ය නායක හාමුදුරුවන්ට විශාල ශබ්ද ඇහෙන්න පටන් ගන්නවා. පල්ලිවල බෝම්බ පිපිරෙනවා. මොනවා නැතත් අපිට රටක් තියෙන්න ඕනේ කියලා කඩුව උස්සගත්ත සිංහයාගේ කොඩිය අරන් චීවරධාරීන්, කාදිනල්වරුන්, කලාකරුවන්, ගොමාලා (වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය) වගේ එක එක සංවිධාන වියත් මග කියලා අටමගලක් අටවා ගෙන රැස්වීම් තියෙනවා. පාතිමාලා මුහුණු වහගෙන ගෝනි බිල්ලන් වගේ පාරේ ගිය කාලෙ ඉවර වෙන්නයි යන්නේ කියලා අපිට මාර විදියේ සතුටක් දැනෙනවා.

චන්දෙන් පස්සේ ව්‍යාපතිය ඉවරයි. බිම් අඟලක් නොදෙනවා කිව්ව රටේ භූමිය හෙක්ටයාර් ගණනින් උගස් කෙරෙනවා. වනාන්තර රාජ්‍ය අනුග්‍රහයෙන් එළි පෙහෙළි වෙනවා. වරද ඇත්තේ පාස්කු දා පල්ලියට යාම බව නොකියා කියන තරමට කාදිනල්වරයා හීලෑ වෙනවා. චීවරධාරීන් දේශපාලන වේදිකාවෙන් බැහැලා මුනිවත රකිමින්ම පිරිකර ලිහලා බලන්න පටන් ගන්නවා. ඔක්ස්ෆර්ඩ් උපාධිධාරීන් දරපු තනතුරු කෝච්චියේ මාලකඩපු හොරුන්ට ලබාදීම විද්‍යාත්මක පත්කිරීමක් බව කවුරුත් සම්මුතියෙන් පිළිගන්නවා. ජාත්‍යන්තර රතු නිවේදන ඇති සාටකයක් එල්ලා ගත්ත තක්කඩියෙක් සංචාරකයන් අරගෙන රට පුරා ගෙනිහින් කොරෝනාව රට පුරා පතුරවනවා. නීලකාස හොරුන් නිදොස් කොට නිදහස් වෙනවා. තුවක්කු එකිනෙක ගැටිලා අංක මැකෙන බව උත්තරීතර අධිකරණය පවා පිළිගන්නවා. වැවිලි භෝග විකුණනන්න ප්‍රසිද්ධ වෙලා තිබුණු රටක් වරාය, ගොඩබිම, යුද හමුදා මුලස්ථාන භුමිය, මුහුද තීරුව විකුණන රටක් බවට පත්වෙනවා. ජිම් හදන්න මුදල් ප්‍රතිපාදන වෙන්වෙන අතරේ රෝගී ජීවිත බේරාගන්න කියලා ජනතා මුදල් හිගාකනවා. දිරාපත්වන ඇදන් හදන්න ශ්‍රමදාන පවත්වනවා. කොටින්ම කිව්වොත් දැන් කවුරුත් තාප්පවල චිත්‍ර අදින්නෙත් නැහැ. එක රටක් එක නීතියක් කියලා කවුරු හරි කිව්වද කියන එකවත් දැන් කාටවත් මතක නැහැ. අල කීයද… ළූණු කීයද… දැන් සැපද…? එහෙම දැන් කවුරුත් අහන්නේ නැහැ.

මෙතැනදීත් සිද්ධ වුණේ අර කිව්ව යුදෙව්වාගේ කතාවම තමයි. හොරා නොකන, පාදඩයන් නොවන පාලකයන් පත් කරගන්නට තියෙන ජනතා අයිතිය දේශප්‍රේමය , ජාති ආලය කියන අල්ලසට යටවෙච්ච එක. කලින් කතාව වගේම මේ කතාවත් ඉවර නැහැ. ඊළග මැතිවරණයේදී මේක මුල පටන් ආයෙත් අනුපිළිවෙළට සිද්ධ වෙනවා. පහුගිය අවුරුදු 70දිම සිද්ධ වුණා වගේ. හැබැයි නයා ආපහු එන්නේ නැහැ. නයා වෙනුවට එන්න පුළුවන්, වෙන්න පුළුවන් දේවල් ඕන තරම් තියෙනවා.

අන්තිම සංසිද්ධිය ගත්තම අර කිව්ව තරබාරු මනුස්සයා කන්දෙන් පහළට තල්ලු කිරීම වරදක් ද නැද්ද? එක් පුද්ගලයෙක් බිලිදීලා ජීවිත පහක් බේරා ගැනීම වටිනවාය කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. තවත් කෙනෙකුට හිතෙන්න පුළුවන් තනි පුද්ගලයෙකුගේ ජීවිතය පවා කොයි තරම් නම් පූජනීය ද කියලා. ඔබේ සිතිවිලිවලට මුළුමනින්ම පදනම් වෙන්නේ ඔබ හැදිලා වැඩුණු පරිසරය, පුරුෂාර්ථ, සංස්කෘතිය, ආගමික සංකල්ප වගේ දේවල්. ඒ හින්දා ජීවිතයක වටිනාකම තීරණය වෙන්නේත් ඔය කිව්ව සමාජ පරිසරය මත තමයි. ඒත් රසල් කිව්වා වගේම හිතන්න පතන්න බැරි ජාතියක් නම් ඔය කරුණු කාරණා තීරණය වෙන්නේ තමන්ගේ දේශපාලන වහල්කම මත. සරලවම කියනවා නම් ජාතිද්‍රෝහියෙක් කියලා තමන්ගේ දේශපාලන නායකයා කාට හරි ප්‍රසිද්ධියේ බැන්නොත් ඒ පුද්ගලයා එල්ලා මරා දමන්න ඕනේ කියන තැනටම තල්ලු වෙන ජනතාවක් තමයි එවැනි සමාජයක බිහිවෙන්නේ. අපිට හිතෙන්න පුළුවන් අපි නම් ඔය කියන වහල් සමාජයට අයිති නැහැ කියලා. හරිම ලේසියෙන් ඒ ගැන තමන්ටම පරීක්ෂා කර බලන්න පුළුවන්.

ලෝකයේ කිසිම රටක සිද්ධ නොවුණු, අහන්නවත් නොලැබුණු අතිශය ම්ලේච්ඡ ක්‍රියාවක් ලංකාවේ සිද්ධ වුණානේ. ඒ තමයි දේශපාලන තුණ්ඩු මත වැක්සින් ලබා දීම. ඒ වගේම දේශපාලන හිතවත්කම්, ලැයිස්තු මත වැක්සින් ප්‍රමුඛතා ලබා දීම. මේ විදියේ අතිශය අමානුෂික පාදඩ ක්‍රියාවන්වලදීත් ඒවා විවේචනය කරන්න ඔබ මැලිවෙනවා නම්, නැතිනම් නොදැක්කා වගේ ඉන්නවා නම්… රටේ වන සම්පත,  සුන්දර වෙරළ තීරුව සාහසික විදියට විනාශ කරලා භුමි සම්පත පවා විකුණා දමද්දී ඒ ගැන මුනිවතම රකින්න හිතෙනවා නම්, අඩුම තරමින් විරෝධය පළ කරන්න තරම් හිත හදාගන්න බැරි නම්… රටේ ප්‍රධානතම මකොල්ලකරුවන්, දූෂිතයන්, හොරුන් නිදොස් කොට නිදහස් කෙරෙද්දී පහුගිය ආණ්ඩුවේ වැරදි විතරක් පේන්න ගන්නවා නම්, දේශපාලකයන් රැක ගන්න විතරක්ම ඔවුන්ගේ ඉත්තන් වෙච්ච කුඩු ජාවාරම් කරුවන් පොලිසිය මහ දවල් මරා දමද්දී අත්පුඩි ගහන්න හිතෙනවා නම්… බස් රියේ, දුම්රියේ එල්ලී වැඩට යද්දී තමන් මේ අපා දුක් විදින්නේ තමන්ම බලයට පත් කළ පාලකයන් නිසා බව හීනෙකින්වත් හිතෙන්නේ නැතිනම්… ප්‍රභූ පංතියට අයිති වරප්‍රසාද නීතිමය අයිතීන් තම පංතියට නොලැබෙන බව සක් සුදක් සේ පැහැදිලි වෙද්දීත් ඒ පාලකයන් වෙනුවෙන්ම පෙනී හිටින්නට හිතෙනවා නම් අපි පිළිගත්තත් නැතත් අපිත් වහල්ලුම තමයි.

ජාතියක් මළගමට ගෙන යන මොහොතක ඒ සාහසික අපරාධයට එරෙහිව අරගලකාරී මාවතක් තෝරා ගන්නවා වෙනුවට ඒ හැම දෙයක් කවටකමට ලක්කරමින් සිනාසීමේ මාවතක් දිගේ තමයි අපි දැන් ගමන් කරන්නේ. ඒත් අපි මේ කවටකමින් විහිළු තහළු කරමින් සිනාසෙන්නේ අපේම දරුවන්ගේ මළගමට බව වටහා ගන්නට තාමත් අපි බොහොම දෙනෙකුට හැකියාවක් නැති බව පැහැදිලියි. වේදිකාගාරයේ දර්ශන විනෝදජනක වෙන්නේ ඔබ ප්‍රේක්ෂකාගාරයේ ඉන්න තාක් විතරයි කියලා කවුරුන් හෝ කියා තිබුණා. ටයිටැනික් නැව ගිලා බහිද්දී නැව ගිලෙන බව මුලින්ම මගීන්ට කිව්වේ නැහැ. ඒ වෙනුවට වාදක කණ්ඩායම් වාදනය සැපයුවා. මගීන්ට ආහාර පාන ලැබුණා. විනෝදාත්මක දේවල් දිගින් දිගටම පවත්වාගෙන ගියා. අපිත් දැන් ගෙවන්නේ ටයිටැනික් මගීන්ගේ ජීවිත. තමන්ගේ සුන්දරම තරුණ කාලය ජරපත් මහල්ලන්ගේ සුඛ විහරණය වෙනුවෙන් වැය කරලා නොකා නොබී මිය යන තරුණ පරපුරක් තමයි අද අපිට ඉතිරි වෙලා තියෙන්නේ.

“මිනිස්සුන්ට අදහස් නැහැ… අදහස්වලට මිනිස්සු ඉන්නවා” (People don’t have ideas. Ideas have people) කියලා කිව්වේ ලෝක ප්‍රකට මනෝවිද්‍යාඥයෙකු වගේම දාර්ශනිකයෙකු වුණු ස්විස් ජාතික කාර්ල් යුන්ග් (Carl Jung). කාර්ල් මේ කාරණාවෙන් පැහැදිලි කළේ අපි අපේම අදහස් කියලා හිතාගෙන ඉන්න අදහස් ඇත්තටම අපේ නෙමෙයි කියලා පහදලා දෙන්න. ලංකාවේ බොහොම දෙනෙකුට මේ සංකල්පය ආදේශ කරලා බැලුවම පැහැදිලිවම පේන දෙයක් තමයි හැම දෙයක් ගැනම ඔවුන් හිතන පතන දකින අකාරය මුළුමනින්ම රදා පවතින්නේ ඒ අයගේ දේශපාලන වහල්භාවය මත කියන එක. පරම්පරා ගණනාවක් ඒ ලක්ෂණය කොයි තරම් ජානගත වෙලා ද කියනවා නම් විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් බහුතරයක්ටත් ඒ රෝගය ඒ විදියටම තියෙනවා.

කොහොම වුණත් කොරෝනා නිසා සිද්ධ වුණු යහපත්ම දේවලුත් තියෙනවා. ප්‍රධානම දේ  තමයි  පුම්බපු ප්‍රතිරූප කට උත්තර නැතිවම හිටි හැටියේම හුළං බැහැලා ගිය එක. කොරෝනා නොතිබුණා නම් තාමත් මිනිස්සු හිතන්නේ ඒවා දැවැන්ත චරිත කියලා. ඒ වගේම තමයි ඒ ව්‍යාජ ප්‍රතිරූප වෙනුවෙන් පෙනී හිටපු, ආවේගයෙන් කතා කරපු චීවරධාරීන්, ප්‍රසිද්ධ කලාකරුවන්, වෘත්තිකයන් විතරක් නෙමෙයි අපි එදිනෙදා කතා බහ කරන අපේ ඥාති යාළු මිත්‍රයන් පවා හැම දෙනාම නිරුවත් වෙලා ගිය එකත් ලොකුම දෙයක්. එයාලගේ ව්‍යාජ බුද්ධි සළු පිළි ගැලවිලා ගිය නිසා දැන් ඉතින් අපිට හරිම පහසුයි ඒ අයත් එක්ක ගනුදෙනු කරන්න. මොකද ඒ අයගේ මස්තිෂ්කවල දිග පළල ගැන දැන් අපිට වැටහීමක් තියෙන නිසා. අකුරු දන්නේ නැති අයත් එක්ක ව්‍යාකරණ කතා කරලා වැඩක් නැහැනේ.

රටක පාලකයෙකුගේ පෞරුෂත්වය මනින්න පුළුවන් හොඳම වෙලාව තමයි අර්බුදයක් තියෙන අවස්ථාවක රට පාලනය කරන ආකාරය බලාගෙන ඉන්න එක. ඒ වගේ අවස්ථාවක ඔහු පෙන්වන නායකත්ව ගති ලක්ෂණ මොනවාද කියන එක හඳුනා ගන්න එක. ඒ වගේ අතිවිශිෂ්ට නායකයන් ලෝක ඉතිහාසයේ ඕනෑ තරම් හමුවෙනවා.

රටක් නිවැරදි මාර්ගයකට ගන්න, ඒ වගේම ඒ ජනතාවට යහපත් ජීවන තත්ත්වයක් ලබා දෙන්න අවශ්‍ය වෙන්නේ යහපත් දේශපාලන නායකත්වයක් විතරයි. රටක නායකයෙකුට පුළුවන් ඒ රට කනත්තක් කරන්නත්, ක්ෂේමභූමියක් කරන්නත්. හිට්ලර් ගැන අපි ඕනෑවටත් වඩා කතා කරලා තියෙනවානේ. ථෙරවාදී බෞද්ධ පවුලක උපත ලබලා, ප්‍රංශයේ උසස් අධ්‍යාපනය ලබපු ඒ වගේම  පන්සල් ඇසුරේම හැදිලා වැඩිලා ගුරුවරයෙකු ලෙසින් ජීවිතය ආරම්භ කරපු පොල්පොට්, කාම්භෝජය මිනී කනත්තක් බවට පත් කළා. ට්‍රම්ප් යටතේත්, බයිඩන් යටතේත් ඇමරිකාවේ ඉන්නේ එකම ජනතාවක්. ජනතාව වෙනස් වුණේ නැහැ. ඒත් ඒ ජනතාව තුළ සැගවිලා තිබුණු ජාතිවාදී හැගීම් මුදා හරින්න ට්‍රම්ප් පාලනය යටතේ රාජ්‍ය රැකවරණය ලැබුණා. කොරෝනාව නිසා මුලු ලෝකයේම වැඩිම පිරිසක් මිය යන රට බවට ඇමරිකාව පත් වුණා. ඒත් ඒ ජාතිවාදී ඇමරිකාව බයිඩන් පාලනය යටතේ කිසියම් ශික්ෂණයකට නැඹුරු වුණා. දිනපතා දහස් ගණනින් මිය ගිය ජනතාව සිය ගණනකට අඩු වුණා. එකම ජනතාවක්… ඒත් නායකයන් දෙන්නෙක්.

විශේෂයෙන්ම ලංකාව වගේ රටක් ගත්තොත් රටේ තියෙන සම්පත්, භූමි ප්‍රමාණය, සංස්කෘතික ලක්ෂණ වගේම ජනාධිපතිවරයාට හිමිවන අසීමිත විධායක බලතල එක්ක රට නිවැරදි මාර්ගයකට ගන්න ඇමරිකාවටත් වඩා හරිම පහසුයි. නිවැරදි නායකත්වයක් විතරමයි ඕන කරන්නේ. ඒත් තමන්ගේ පාලකයන් පාදඩයන් බව ජනතාව පිළිනොගන්නා තාක් ඒ මාර්ගය අපෙන් බොහොම ඈතයි.

යහපත් පාලන තන්ත්‍රයක් කියන්නේ මොකක්ද, එහෙමත් නැතිනම් යහපත් නායකයෙකුගේ පෞරුෂ ලක්ෂණ මොනවාද කියන එක ගැන මේ කොරෝනා කාලයෙන් විතරක්ම වුණත් ලෝකයේ විවිධ රටවලින් ඕනෑ තරම් උදාහරණ ලබා ගන්න පුළුවන්. බ්‍රිතාන්‍යයේ රජ පවුලේ සාමාජිකයන් පවා එන්නත් ලබා ගත්තේ තමන්ගේ නියමිත වයස් සීමාව ආවම පොදු මහජනතාවත් එක්කයි. කැනඩාව ගත්තොත් කැනඩාවේ අගමැතිවරයා තරුණ නායකයෙක් වුණත් කොරෝනා වසංගතය ආරම්භයේ ඉදන්ම වැඩ කළේ පරිණත රාජ්‍ය නායකයෙක්ගේ රුව ගුණ විදහා දක්වමින්. ඔහු ආරම්භයේ ඉදන්ම මේ වසංගතයේ දී නිවැරදි දේශපාලන නායකත්වයක් ලබා දුන්නා. සෞඛ්‍ය අංශවලට තමන්ගේ රාජකාරිය අකුරටම කරන්නට ඉඩ ප්‍රස්ථාවත් මූල්‍ය ප්‍රතිපාදනත් ලබා දුන්නා. මුට්ටි වතුරට අත හරින, පැණි බෙහෙත් ගිල දමන මන්ද බුද්ධික සෞඛ්‍ය අමැතිවරියන්වත් කැබිනට් ඇමතිවරුන්වත් කැනඩාවේ නැති හින්දා නිවැරදි තීරණ තීන්දු නිවැරදි විදියටම ක්‍රියාත්මක වුණා. අගමැතිවරයාත් බිරිඳත් තමන්ගේ වයස් කාණ්ඩය ආවම පොදු ජනතාවත් එක්කම ගිහින් එන්නත ලබාගත්තා. ඇස්ට්‍රා සෙනිකා එන්නත ගැන තරමක බියක් සමහරුන් අතර තිබුණු හින්දා ඔවුන් දෙදෙනාම ප්‍රසිද්ධියේම ලබා ගත්තේ ඒ එන්නතයි. යහපත් නායකයකුගේ පෞරුෂත්වය තමයි ඒ. මේ නිසාම දැන් කනැඩාවේ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් තියෙනවා.

මේ අතරේ ත්‍රස්තවාදී සංවිධාන කටයුතුවලට සම්බන්ධ කණ්ඩායම් 13ක් තහනම් කෙරුණා. එයින් බහුතරයක් ඉස්ලාම් අන්තවාදී සංවිධාන. එකම රටක් එකම නීතියක් කියන සංකල්පය මිසක් මුස්ලිම් ඡන්ද නැතිවෙනවාද නැද්ද කියන කාරණාව අදාළ වුණේම නැහැ. කැනඩාවේ එකම මුස්ලිම් නායකයෙක්වත්, එකම මුස්ලිම් මන්ත්‍රීවරයෙක්වත් වචනයකින්වත් ඒ ක්‍රියාවට විරුද්ධ වුණේත් නැහැ.

මේ අතරේ පහුගිය සතියේ ඉතා බියකරු සිදුවීමක් කැනඩාවෙන් අසන්නට ලැබුණා . ඒ තමයි පහුගිය අවුරුදු සියය දෙසියය ඇතුළේ කැනඩාවේ ආදිවාසී කණ්ඩායම්වල දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නට යැයි කියමින් කතෝලික පල්ලිය පවත්වා ගෙන ගිය නේවාසික පාසල්වල සිදුවුණු බරතපළ ළමා සංහාරයක් හෙළිදරවු වීම. ලෝකයේ බොහෝ රටවල කතෝලික පල්ලිය පවත්වාගෙන ගිය මේ වගේ පාසල්වලින් ඇත්තටම සිද්ධ වුණේ අධ්‍යාපනය වෙනුවට ආගම ප්‍රචාරය කිරීම පමණක්ය කියන කාරණාවත්, මේ පාසල්වල ළදරු අපචාර, ශාරීරික හා මානසික හිංසන මහා පරිමාණ මට්ටමින් නිරන්තරයෙන් සිදුවුණු බවත් මුලු ලෝකයටම රහසක් නෙමෙයි.  දශක ගණනාවකට කලින් කැනඩාවේ මේ විදියේ නේවාසික පාසලක දරුවන් 215 දෙනෙක් හිංසනයට, දූෂණයට, අපචාරවලට, ලෙඩ රෝගවලට සහ මන්ද පෝෂණයට ගොදුරු වෙලා මිය ගිහින් හොර රහසේම වළදාලා තිබියදී සොයා ගැනුණේ අහම්බෙන්. මේ කාරණාව රජය, රටේ මාධ්‍ය, විතරක් නෙමෙයි මහජනතාව පවා කොයි තරම් බරපතළ විදියට භාරගත්තා ද කියනවා නම් හැම කතෝලික පල්ලියකටම මේ සිද්ධිය හෙළා දැකලා පොඩියට හරි දැන්වීමක් පළ කරන්නට සිද්ධ වුණා. මේ සිද්ධිය ගැන පාප් වහන්සේ බොහොම නිහඩ පිළිවෙතක් අනුගමණය කරපු හින්දා කතෝලිකයෙක් වුණු අගමැතිවරයා පවා ප්‍රසිද්ධියේම මාධ්‍ය මගින් පාප් වහන්සේට බරපතළ චෝදනාවක් එල්ල කළා. ඒ තමයි කතෝලික පල්ලියෙන් සිද්ධ වුණු මේ අපරාධ ගැන ප්‍රසිද්ධියේ වගකීම භාර ගන්න කියලා. ඒ වගේම ඒ කරුණු හොයා බලන්න රජයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කළා. රටක නායකයකුගේ පෞරුෂ ලක්ෂණ දකින්නට ලැබෙන්නේ ඔන්න ඔය වගේ අවස්ථාවලයි.

ලෝකයේ දියුණු යැයි කියන හැම රටක්ම අද දවසේ ගමන් කරන්නේ ඔය වගේ මාර්ගයක. මේ නිසා ඒ රටවල ජීවත් වන ජනතාවගේ ජන ජීවිත සුරක්ෂිතයි. ඒ රටවල ජීවත් වන ජනතාවගේ දරුවන්ට පැහැදිලි අනාගතයක් තියෙනවා. වස විස නැති කෑම බීම ලැබෙන නිසාම ආයු අපේක්ෂණය ඉහළයි. තමන්  ගෙවන බදු මුදල්වල ප්‍රතිලාභ අඩුවක් නැතිවම හිමිවෙනවා.

පාලකයන් පාදඩයන් නොවන, ජනතා දේපළ සූරා නොකන හැම රටකම ජනතාවට කොරෝනා කාලයේ දී කිසිම අගහිඟකමකට මුහුණ දෙන්නට සිද්ධ වුණේ නැහැ. කැනඩාව ගත්තොත් කොරෝනා කාල සීමාවේදී රැකියා අහිමි වුණු හැමෝටම ඩොලර් දෙදහසක මාසික දීමනාවක් රජයෙන් ගෙව්වා. රටට කෙටි කාල සීමාවකට ආපු අයට පවා ඒ දීමනාව හිමි වුණා.  කොරෝනා අර්බුදය හින්දා තමන්ගේ විය හියදම් ගෙවා ගන්නට අසමත් වුණු හැමෝටම ඒ වියදම් ගෙවා දමන්නට කාලය වගේම රැකවරණ සැලසුණා. කොරෝනා කාල සීමාවේ දී  පොෟද්ගලික වාහන  ගමනාගමනය අඩුවුණු නිසා අනතුරු අඩුවීමෙන් ලැබුණු ලාභාංශ වෙනුවෙන් මං ජීවත් වෙන ප්‍රාන්තයේ රියදුරු බපලපත්‍රයක් හිමි හැම කෙනෙකුටම ඩොලර් දෙසියයකට ආසන්න චෙක්පතක් තැපෑලෙන් ලැබුණා. ඒ වගේම ප්‍රාන්ත මැතිවරණයේ දී දුන්නු පොරාන්දුවක් විදියට ඩොලර් දහසක මුදලක් මධ්‍යම පාංතික වගේම අඩු ආදායම්ලාභී පවුල් බොහොමයකට තෑග්ගක් විදියට ලැබුණා. දරුවන් ඉන්න පවුල් හැම එකකටම පවුලේ ආදායම් තත්ත්වය අනුව සැලකිය යුතු මුදලක් හැම මාසයකම ආණ්ඩුවෙන් ලැබෙනවා.  කැනඩාවේ ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන මිල ගණන් දවසකට දෙතුන් වරක් වෙනස් කෙරෙනවා. ඒකට හේතුව ලෝක වෙළෙද වෙළෙද පොලේ ඉන්ධන සහනය ඒ මොහොතේදීම ජනතාවට ලබා දෙන හින්දයි. ගසා කන්නට කිසිම ඉඩක් ආණ්ඩුවටවත් නැහැ. ලෝකේ හුඟක් රටවල තත්ත්වය ඔහොම තමයි. මේ සහන හැම දෙයක්ම මීටත් වඩා ඉහළින් ලංකාවට වගේ රටක ජනතාවට ලබා දෙන්න ඉතාම පහසුයි. ඒත් පාලකයන් සොරා කන බව පිළිගන්න ජනතාවගෙන් බහුතරය කැමැති නැති හින්දා ඔය වගේ කතා අපේ ජනතාවට දැනෙන්නේ සුරගංනා කතා විදියට. ඒ නිසා තමයි අන්තිමේදී බංගලාදේශයෙන් පවා ණය ගන්න තරම් හිඟන මට්ටමකට අපි ඇද වැටුණේ. තමන්ගේ දහදිය කඳුලින් සූරාගත්ත මුදලින් සොච්චමක් විදියට දෙන රුපියල් පන්දහස දෙකට නැමිලා වැද වැටිලා දෝතින් අරගන්න හිතෙනවා නම් එතැනම තියෙන්නේ කොයි තරම් නම් නිවට නියාළු කමක්ද? රටක දියුණුව කියන්නේ අධිවේගී මාර්ග දෙක තුනක් තැනීම, නෙළුම් කුළුණක් තැනීම, ටකරන් වහළට උළු දමා ගැනීම, ගුරුපාර කාපට් කිරීම, නගරවල බිල්ඩින් ඉදිවීම වගේ සිල්ලර කරුණු කාරණා නෙමෙයි. දුටුගැමුණුට රගපාපු නළුවා තමයි ඇත්තටම එළාර මැරුවේ කියලා හිතලා ඡන්දෙ දෙන පිරිසක්නේ අපිට ඉන්නේ. ඒ නිසා ජාත්‍යන්තර මට්ටමින් ගත්තම අපි දවසින් දවස කාණු පල්ලට විසිවෙලා යනවා. ලංකාවේ ගුවන් ගමන් බලපත්‍රය ලෝකයේ ගුවන් ගමන් බලපත්‍ර අතර පහළම මට්ටමකට ඇද වැටිලා තියෙනවා. රුපියලට තවත් බාල්දු වෙන්න තරම් දෙයක් නැහැ දැන්.

ලෝකයේ දියුණු රටවල් පැහැදිලි ගමන් මාර්ගයක ඉදිරි දැක්මකට පියවර ඔසවද්දී, ආසියාවේ අපිත් එක්ක හිටිය රටවල් ඒ මාවතට ඉව අල්ලද්දී අපි යන්නේ ප්‍රපාතාකාර බෑවුමකට. ඒත් අපි හරි වෙනස් ජාතියක් හින්දා අපිට ආඩම්බරයෙන් මෙහෙම කියන්න නම් පුළුවන්.

අපි තමයි හොඳටම කළේ!

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment