විදුලි බලය අවදානමක !

by admindasun
0 comment 57 views

2021 අප්‍රේල් මස සිට රට තුල උග්‍ර වී ඇති වසංගත තත්වය තුල මේ වනවිට රටේ බහුතරයක් ක්‍රියාවලීන් අඩපණ වී ජනජීවිතය පවා අඩාල වී ඇති බව පැහැදිලි වේ. එවන් තත්වයක් තුල රටෙහි ජනතාවට අවශ්‍ය මූලිකම සේවාවන් ලබාදෙන ආයතන අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස සලකා කටයුතු කිරීමට රජය පියවර ගෙන ඇති මොහොතක රටක ජීවනාලිය ලෙසට සැලකෙන විදුලිබලය සපයන හා පවත්වාගෙන යන ලංකා විදුලිබල මණ්ඩලය සහ එහි සේවක මණ්ඩලය කෙරෙහි දක්වා ඇති නොසැලකීම් අනුව එම සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් ලෙසට සලකා රජය කටයුතු කරන්නේද යන ගැටලුව මේ වනවිට පැන නැගී ඇත.

රටක් වශයෙන් අර්බුදයකට මුහුණපා ඇති මොහොතක සිය වගකීම් පිලිබඳව නිසියාකාර අවබෝධයකින් යුක්තව කැපවීමෙන් රාජකාරීන් සිදුකරන ලංවිම සේවකයින් මේ මොහොත වනවිටත් තමන්හට වෙනත් අත්‍යාවශ්‍ය සේවාවන්ට ලබාදෙන ප්‍රමුඛතාවන් ලබානොදීම පිලිබඳව දැඩි කනස්සල්ලකින් සහ කලකිරීමකින් පසුවනබව නිරීක්ෂණය වී ඇත. මේ මොහොත වනවිටත් ලංකා විදුලිබල මණ්ඩලය තුල බලාගාර, සම්ප්‍රේෂන ග්‍රිඩ් උපපොලවල්, ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාල සහ පාරිභෝගික සේවා මධ්‍යස්ථාන බොහෝමයක්  කොවිඩ් 19 රෝගීන් හමුවීම හේතුවෙන් වසා දැමීමට පවා සිදුවී ඇත. එවන් තත්වයන් තුල වුවද එහි ආදීනව සංචරණ සීමා හේතුවෙන් නිවසේ සිරවී සිටින ජනතාවට විඳීමට නොදී විදුලි බලය අඛණ්ඩව පවත්වාගෙන යමින් සිය වගකීම් අකුරටම ඉටු කිරීමට එම ඒකක ප්‍රධානීන් ඇතුලු සේවකයින් කටයුතු කරමින් පවතී. අප සේවකයින් රොහල් හා දැඩි ලෙස කොවිඩ් අවදානම දැති ප්‍රදේශ වලපවා විදුලි බිදවැටීම  යතා තත්වයට පත්කිරීමටත් පැය 24 පුරා විදුලිය පවත්වාගැනීමටත් නිරතුරුව අවදානම නොතකා ක්‍රියා කරනු ලබයි.  ඒ කෙරෙහි හෝ රජයක් වශයෙන් අවධානය හෝ ඇගයීමක් සිදු වූයේද යන්න ගැටලු සහගතය.

මෙහි බරපතලම අවස්ථාව ලෙසට නිරීක්ෂණය වන්නේ රට තුල ක්‍රියාත්මක වන කොවිඩ් 19 වසංගතයට එරෙහි එන්නත්කරනයේදී මෙසේ දැඩි කැපවීමකින් සේවය කරන ලංවිම සේවකයින්ට අවධානයක් හෝ සැලකීමක් සිදු නොකිරීමයි. ලංකා විදුලිබල මණ්ඩලය තුල සිටින සමස්ථ සේවකයින් සංඛ්‍යාව 26,000ක් පමණ වන අතර එයිනුත් අත්‍යාවශ්‍ය සේවාවක් වන විදුලිබලය පවත්වාගෙන යාමට සෘජුවම දායක වන සේවකයින් සහ නිරන්තරයෙන් පාරිභෝගිකයින් හා සම්බන්ධ වන සේවකයින් සංඛ්‍යාව ගත් කල 15,000ක් පමණ වේ. බස්නාහිර පළාත තුල සිදු කල එන්නත්කරනයේදී ඉහත සංඛ්‍යාවෙන් 2600කට පමණ සිනොෆාම් එන්නත ලබා ගැනීමට කටයුතු කල අතර එයට පෙර ඇස්ට්‍රො-සෙනිකා ප්‍රථම මාත්‍රාව ලබාගත් සේවකයින් 850කට ද දැඩි පරිශ්‍රමයක් දැරීමෙන් පසුව දෙවන මාත්‍රාව ලබාගැනීමට හැකිවිය. දිගින් දිගටම කළමණාකාරිත්වය වශයෙන් සහ වෘත්තීය සමිති වශයෙන් ඉල්ලීම් සිදුකලද ඉතිරි සේවකයින්හට එන්නත්කරණය නිසි පරිදි ලබාගැනීමට නොහැකි වූ අතර මෙය මෙසේ නොවිය යුතු බවට රට තුල විදුලිබලය පවත්වාගෙන යාමේ හෝ නොයාමේ හැකියාව ඇති  වගකියයුතු වෘත්තීය සමිතියක් වන ලංවිම ඉංජිනේරු සංගමය වශයෙන් අපි අවධාරණය කරමු.

පසුගිය දින කිහිපය තුල සිදුවූ ව්‍යසනකාරී කාලගුණ තත්වය හේතුවෙන් රටෙ 177,000ක් පමණ වූ ජනතාවකට විදුලි සැපයුම අහිමි විය. ඒ වනවිටත් කොවිඩ් 19 වසංගතයෙන් ආරක්ෂා වීමට එම කාර්යයන් සඳහා යොමුවන සේවකයින්ගෙන් අවම සංඛ්‍යාවක් රාජකාරී කරමින් සිටින වාතවරණයක් ආයතනය තුල තිබියද එම සේවකයින් දිවා රෑ නොබලා, කෑම බීම පවා නිසියාකාරව නොලැබ අධික වර්ෂා තත්වයන් තුල අඛණ්ඩව දින ගණනාවක් වෙහෙසී එම බිඳවැටීම් සියල්ල යථා තත්වයට පත් කරන ලදී. යම් හේතුවක් මත මෙම සේවකයින් තමන්ට වසංගතයෙන් ආරක්ෂා වීමට වෙනත් අත්‍යාවශය සේවාවන්ට ලබාදුන් එන්නත්කරණය පවා නොලැබුනු හෙයින් අනාරක්ෂිත කාලගුණ තත්වයන් තුල රාජකාරී කිරීම ප්‍රතික්ෂේප කලේ නම් මේ වනවිටත් රටෙහි ලක්ෂයකට අධික සංඛ්‍යාව විදුලිබලය නොමැතිව අතිශය පීඩාවට පත්ව සිටින බව සිහි කැඳවනු කැමැත්තෙමු.

මේ වනවිටත් මෙසේ රාජකාරී කල සේවකයින් අතරින් විශාල වශයෙන් සෙම්ප්‍රතිශ්‍යාව, උණ ආදී රෝග ලක්ෂණ පෙන්වන රෝගීන් මතුවෙමින් පවතින අතර එම රෝග තත්වය වර්ෂාවට තෙමීම නිසාද නැතහොත් කොවිඩ් 19 රෝග තත්වය නිසාද යන්න පවා හඳුනා ගැනීම අපහසු වී ඇත. එවන් රෝගීන් සඳහා කරන PCR පරීක්ෂණ ප්‍රථිඵල ලැබීමටද සතියක් පමණ යන බැවින් ඉදිරි සති කිහිපය තුල සේවකයින් විශාල වශයෙන් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට සහ ඒ හේතුවෙන් ප්‍රාදේශීය කාර්‍යාලන් වසා දැමීමට සිදුවනු ඇත. ව්‍යසනකාරී කාළගුන තත්වය තවමත් පහව ගොස් නොමැති හෙයින් ඉදිරියේදී පවා විශාල වශයෙන් විදුලිබල පද්ධතියේ බිඳවැටීම් ඇතිවීමට ඉඩ ඇති අතර එහිදී එම බිඳවැටීම් වලින් ජනතාව දහස් ගණනින් විදුලිබලය නොමැතිව සති ගාණක් වුව අපහසුතාවට පත්වීම වැලැක්වීමට නොහැකිවනු ඇත. එමෙන්ම ඒ මොහොත වනවිට සිටින ක්ෂේත්‍ර සේවකයින් පවා අධික වර්ෂාව මධ්‍යයේ රාජකාරී කිරීම ප්‍රතික්ෂේප කලහොත් සේවක ආරක්ෂාව සලකා එම තත්වය පාලනය කිරීමට ඒකක භාර ඉංජිනේරුවරුන් කටයුතු නොකිරීමට ඉඩ ඇත.

දීර්ඝ කාලයක් පුරාවටම රට තුල මහත් ව්‍යසනයක් ඇතිකරන සහ තව වසර ගණනාවක් ඉදිරියට බලපෑම් ඇති කිරීමට නියමිත කොවිඩ් 19 වසංගතයට එරෙහිව රජයක් වශයෙන් කටයුතු කිරීමේදී රටෙහි සියලුම අංශ කෙරෙහි අවධානය යොමුකර මනා සැලසුමකින් කටයුතු කිරීමේ වැදගත්කම ඔබ හට වැටහී ඇතැයි අප සිතන්නෙමු. එවන් තත්වයක් තුල රටෙහි ජීවනාලිය බඳු විදුලිබල සැපයුම පවත්වාගෙන යන ලංවිම සේවකයින් වසංගත තත්වය හේතුවෙන් හෝ තමාට නිසි සෞඛ්‍යාරක්ෂාවක් රජයෙන් ලබානොදීම හේතුවෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ලෙස රාජකාරී වලින් බැහැරවීමක් සිදු වුවහොත් 2012 වර්ෂයේ සහ 2017 වර්ෂයේ සිදුකල පරිදි රටෙහි විදුලිබල සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම කෙරෙහි කිසිදු වගකීමක් අප සංගමය නොගන්නා බව අවධාරණය කරන අතර විශේෂ ප්‍රාගුණ්‍යකින් සහ අත්දැකීම් වලින් යුත් එම සේවකයින් කඩිනමින් යුධ හමුදාව හෝ වෙනත් ආදේශකයකින් ආවරණය කල නොහැකි බවත් සිහි කැඳවනු කැමැත්තෙමු. එබැවින් රට පවතින අර්බුදකාරී අවස්ථාව තව දුරටත් බරපතල තත්වයකට පත් නොකර අත්‍යාවශ්‍ය සේවාවක් වන විදුලිබලය ලබාදීමට සෘජුවම මැදිහත් වන ලංවිම සේවකයින්ට කඩිනමින් එන්නත්කරණය ලබාදී ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට රජය සහ බලදාරීන් කඩිනමින් ක්‍රියාකරනු ඇතැයි අපේක්ෂා කරමු.

ධම්මික විමලරත්න
සම ලේකම්
ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය

 

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment