මැතිවරණ සංශෝධනවලට අදහස් ලබා දෙන්න

by admindasun
0 comment 10 views

මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහය සහ මැතිවරණ නීතිවල සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳව  සොයා  බැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු  තේරීම් කාරක සභාව මහජන අදහස්  විමසීමට තීන්දු කිරීම  ඉතා ප්‍රශස්ත කටයුත්තක් බව මැතිවරණ නිරීක්ෂණ  සංවිධානයක් ලෙස අපගේ විශ්වාසයයි .

මැතිවරණ ව්‍යුහය මෙන්ම  මැතිවරණයට අදාල නෛතික ප්‍රතිපාදනද වර්තමාන  දේශපාලන  සන්දර්භයන්ට  අනුරූපී වන පරිදි  බරපතල සංශෝධනයට  ලක්විය යුතු බවට කිසිදු විවාදයක් නැත.

විශේෂයෙන්ම  ජනතා පරමාධිපත්‍යයේ  මූලිකාංගයක් වන ජන්ද බලය බාධාවකින් හෝ බලපෑමකින් තොරව අභ්‍යාස කිරිමට නම්  සමබිමක තරඟය පැවැත්වීම  වෙනුවෙන් සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි නව නෛතික ප්‍රතිපාදන සැකසීමේ කඩිනම් අවශ්‍යතාවයක් පවතී.

ඒ අනුව මැතිවරණ  ක්‍රමයේ සාධනීය වෙනසක් අපේක්ෂා  කරනු ලබන පුරවැසියන්ට මෙන්ම සංවිධානවලටද මැතිවරණ ප්‍රතිසංස්කරණ  වෙනුවෙන් වන යෝජනා හා අදහස් ලබාදීම සදහා අවකාශය සලසා ඇති අතර  එකී  යෝජනා ලිඛිතව හෝ sec.pscelectionreforms2021@parliament.lk  නම් විද්‍යුත්  තැපෑල මගින්  අදාල කමිටුව  වෙත 2021 ජූනි මස 19 වන දිනට පෙර ඉදිරිපත් කල හැකිය.

මහජන අදහස් හෝ යෝජනා ලිඛිතව ලබා දෙන්නේ නම්,
ලේකම්,
මැතිවරණ  ප්‍රතිසංස්කරණ වෙනුවෙන් වන විශේෂ පාර්ලිමේන්තු  තේරීම් කාරක සභාව,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ,
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ,

යන ලිපිනයට තැපැල් මගින් යොමු කිරීමේ හැකියාව  පවතී.

කොරෝනා වසංගතය පිළිබඳ  මේ මොහොතේ  සමාජයේ ප්‍රමුඛ අවධානය යොමුව ඇතත් මෙම කටයුත්තේ ඇති ජාතික වැදගත්කම  ගැන අවධානය යොමු කරමින් විවිධ දැනුම් මට්ටම් මෙන්ම සමාජ  පරාසයක් නියෝජනය  කරනු  ලබන  පුරවැසියන්ගෙන් මෙන්ම සංවිධාන  වලින්ද අප  ඉල්ලා සිටිනුයේ වඩාත් දියුණු ලක්ෂණ  වලින් සමන්විත මැතිවරණ ක්‍රමයක් වෙනුවෙන්  නියමිත කාලසීමාව තුළ ඔබේ අදහස්  හා යෝජනා ලබාදෙමින්  මෙම ජාතික කර්ත්‍යයේ කොටස්කරුවෙකු  වන ලෙසයි.

රෝහණ හෙට්ටිආරච්චි
පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment