කොරෝනාව ජයගන්න සාමූහික වෙමු

by admindasun
0 comment 30 views
කොරෝනා වසංගතය නිසා රට පවත්වාගෙන යාම අපහසු බව දැන් නිතර කියැවෙයි. කොරෝනා එන්නට පෙර ද අප රට තිබුණේ දැවැන්ත ආර්ථික අර්බුදයක මුවවිට ය. වසර පහළොවකට ආසන්න කාලයක් රට පාලනය කළ පාලකයන්ගේ අදූරදර්ශී ක්‍රියා සංවර්ධනයේ නාමයෙන් බහුතර ජනයා අතර සාධාරණය කළ ද ඒ මගින් කෙරුණේ රට කිසි දිනෙක ගෙවා නිම කළ නොහැකි ණය උගුලක සිරකරවීම යි. ඊට අමතර ව රටේ ස්වාධීනත්වයට බරපතළ තර්ජන ද  ඉතාමත් අහිතකර පරිසර බලපෑම් ද ඇතිවීමේ අනතුරට ද රට මුහුණ දී සිටී.
මේ තත්වය තුළ කොරෝනා වසංගතයට අප රට ද ගොදුරුවීම තුළ ජන ජීවිතය බිඳවැටෙමින් පවතින බව දැන් මනා ව පැහැදිලි ය. මෙවන් තත්වයක් තුළ ජනයාගේ සංස්කෘතික ජීවිතය පෝෂණය කිරීමට කැපවී සිටින කලාකරුවන් වන අපට ද ක්ෂේත්‍රයේ ගැටලු සේ ම ජාතික මට්ටමේ සමාජ දේශපාලන හා ආර්ථික ගැටලු සම්බන්ධයෙන් ද මැදිහත් වන්නට බලකෙරෙයි.
අප රට තුළ පළමු කොරෝනා රැල්ල සෞඛ්‍ය සේවයේ ලොකු කුඩා සියලු ශ්‍රේණිවල අයගේ ද ආරක්ෂක හමුදාවල ද කැපවීමෙන් පාලනය කර ගත් නමුත් දෙවන රැල්ල එසේ පාලනය  කර ගන්නට නොහැකි වී තිබේ. අද වන විට මුළු රට ම වසා පැතිරෙන මේ වසංගතය දෙවෙනි වර මතුවන්නේ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලෙනි. රට තුළ නොතිබුණු විෂබීජය එම ආයතනයට ආනයනය කෙරුණේ කෙසේ ද, එයට වගකිවයුත්තන් කවුරුන් ද යන්න අද වන තුරු හෙළිදරව් කරන්නට ආණ්ඩුව අසමත් ව සිටී. එය සෞඛ්‍ය සේවයේ හෝ සාමාන්‍ය ජනයාගේ වරදකින් සිදුවූවක් නොවේ. එම ආයතනයට මෙම විෂබීජය ආවේ කෙසේ ද යන්න පැහැදිලි ව ප්‍රකාශ කිරීම පාලකයින්ගේ වගකීමකි. ඒ වගකීම මෙතෙක් ඉටු වී නොමැත. දැන් වැදගත් වන්නේ රටේ ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අකුරට පිළිපැදීම මිස කොරෝනා දෙවෙනි රැල්ල ඇරඹුණේ කෙසේ දැයි සෙවීම නොවන බවට වගකිව යුත්තන් තර්ක කරනු ඇසේ. සෞඛ්‍ය ආරක්ෂාවට දෙන උපදෙස් ජනතාව අනිවාර්යයෙන් ම පිළිපැදිය යුතු බව අපි ද අවධාරණය කරන්නෙමු. එසේම අනාගතයේ හෝ නැවත මෙවැනි විනාශයක් අප රටට ඒම වලක්වා ගැනීම සඳහා ඉහතකී කරුණු හෙළිදරව් කරගැනීමේ අත්‍යවශ්‍යතාව ද අපි අවධාරණය කරමු.
මාසික වැටුප් නොලබන, දවසේ ශ්‍රමයෙන් එදිනෙදා ජීවිතය ගැටගසා ගත් අතිවිශාල පිරිසක් අනාථභාවයට පත්වී සිටිති. එසේම ඇඟලුම් කම්හල් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක සේවක සේවිකාවෝ රෝගයට ගොදුරු වීමේ අනතුරට මුහුණ පා සිටිනවාට අමතර ව තම රැකියා අහිමි වීමේ සහ වැටුප් නොලැබීමේ තර්ජනයට ද මුහුණ පා සිටිති. ඒ අතර බෝඩිංවලින් ඉවත් කිරීමේ තර්ජනය ද පවතී.
තම ආදායම් මාර්ග අහිමිවන පිරිස් අතරට සිනමාව, ටෙලිනාට්‍ය, සාහිත්‍ය ආදී කලා ක්ෂේත්‍රවල අය ද එක්වී සිටින අතර විශේෂයෙන් වේදිකා නාට්‍ය ශිල්පීන් මුහුණ දෙන්නේ කිසිදු ආදායමක් නැති  තත්වයකට ය. කොරෝනා පළමු රැල්ළ තුළ කලාකරුවන්ට බැංකු ණයක් ලබාදීමට ගත් තීරණය ද කිහිප දෙනෙකුට සීමා වූ අතර මේ වන විට එය ද නැවතී තිබේ. ජනයාගේ වින්දනය වෙනුවෙන් ද සංස්කෘතික ජීවිතයේ පෝෂණය වෙනුවෙන් ද මැදිත් වන මේ අය සම්බන්ධයෙන් ද ආණ්ඩුව අවධානය යොමු කළ යුතු බව අවධාරණය කරමු.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුවී ඇත්තේ සුළුපටු අර්බුදයක් නොවේ. සමහර පාසල් සහ ටියුෂන් පන්තිවල ගුරුවරුන් විසින් “ඔන්ලයින්” ක්‍රමයට ඉගැන්වීම් කරන අතර විදුලිබලය, දුරකථන සම්බන්ධතා සහ සුදුසු දුරකථනද “ඬේටා” ද නැති අති විශාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් රට තුළ සිටිති.  විකල්පයක් ලෙස ඊයේ පෙරේදා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් රූපවාහිනී සහ ගුවන් විදුලි භාවිතයෙන් ආරම්භ කර ඇති  ඉගැන්වීමේ ක්‍රියාවලිය සංකල්පයක් හැටියට අපි අගය කරමු. එහෙත් එක් පැත්තකින් සමහර පාසල් සහ ටියුෂන් ගුරුවරුන් ඔන්ලයින් පාඩම් පැවැත්වීමත් අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩ පිළිවෙලත් එකවර දියත්වීමෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණ දෙන්නේ තවත් ගැටලුවකටය. මෙයින් වඩා වැඩි ශිෂ්‍ය පිරිසකට ප්‍රයෝජනයක් අත්වෙන මාර්ගය පමණක්  ක්‍රියාත්මක කරවීම වැදගත් බව අපගේ යෝජනාවයි.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය ද ඔන්ලයින්වලට සීමා වී තිබෙන තත්වයක් තුළ එය නිසි පරිදි ක්‍රියාත්මක වීමට අවශ්‍ය සම්පත් සපයා දීම පිළිබඳ ව වහා ම අවධානය යොමු වීම අවශ්‍ය ය. විශේෂයෙන් මානව ශාස්ත්‍ර අංශයට අවශ්‍ය පොත්පත්වල මෘදු පිටපත්වල හිගය තදින්ම බලපාන බැවින් එම ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ගැටලුවලට මුහුණ දී සිටිති.
දරුවන් පාසල් නොයෑමත් බොහෝ දෙමව්පියන් ගෙවල්වලට කොටුවීමත් තුළ නොයෙක් ගැටලු මතුවනු පෙනේ. මෙසේ නිවෙස්වලට සීමාවන දරුවන්ගේ සහ දෙමව්පියන්ගේ ද වින්දනය සහ ආධ්‍යාත්මික පෝෂණය වෙනුවෙන් වැඩපිළිවෙළක අවශ්‍යතාව ද අපි පෙන්වා දෙමු. ඒ සඳහා දේශීය හා විදේශීය උසස් චිත්‍රපට, හොඳ ටෙලි නාට්‍ය සහ ප්‍රමිතියක් සහිත දෙස් විදෙස් සංගීත වැඩසටහන් වැඩිපුර විකාශය කරවීම ද, පුස්තකාල පරිහරණය වෙනුවෙන් සෞඛ්‍ය ආරක්ෂිත වැඩ පිළිවෙළක් ක්‍රියාවට නැගීම ද කළහැකි බව අපි යෝජනා කරමු. මෙය රූපවාහිනී චැනලවලට ලාබ උපයා ගැනීමේ තවත් වැඩ පිළිවෙළක් නොවිය යුතු අතර සමාජය දීර්ඝකාලීන ව මුහුණ දීමට නියමිත ආධ්‍යාත්මික සහ මානසික පරිහානිය වලක්වා ගැනීම සඳහා දැනුම්වත්, සැලසුම් සහගත සාමූහික ප්‍රයත්නයක් වීම අත්‍යවශ්‍ය වන්නේ ය. සෑම අධ්‍යාපනික ආයතනයක්ම (පාසල් හා විශ්වවිද්‍යාල) ඔන්ලයින් පන්ති කිරීම යන පටු අර්ථයෙන් පමණක් අධ්‍යාපනය වටහාගෙන ඇති නිසා දරුවන් කොම්පියුටරයක් හෝ දුරකථනයක් ළඟ හිඳුවා තබන තත්වයක් ඇතිවී තිබේ. ඒ උපකරණ නිර්මාණශීලී ලෙස විෂය සමගාමී  ක්‍රියා සඳහා භාවිතා කරමින් දරුවන්ගේ මානසික සමබරතාව ඇති කළ හැකිය. එසේ නොවන්නේ නම් වසංගත සමයක් පුරා නිවසට සිරවූ දරුවන්ගේ මානසික සෞඛ්‍යය සහ පෞරුෂ වර්ධනය දුර්වල විය හැකිය. මෙවැනි ගැටලු ආමන්ත්‍රණය කිරීමේ ලා රාජ්‍ය මාධ්‍ය වෙත විශාල වගකීමක් පැවරේ.
මේ සඳහා නිශ්චිත වැඩපිළිවෙලක අවශ්‍යතාව බලධාරීන් පිළිගන්නේ නම් එවන්නක් වෙනුවෙන් අපගේ සහභාගිත්වය ලබාදීමට අප සූදානම්ය.
ජනනියමු කලාකරුවෝ
විධායක කමිටුව

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment